ඉතිහාස කතා වල හැටියට ඉතින් වැද්දා කියන්නේ අපේ පැරණිම නෑයා.වැද්දෙක් කිව්වම ඔලුවට එන්නේ කොළ අතු ඇඳ ගත්ත ඇඟ පත පුරාම වනාන්තරෙත් එක්ක සතා සීපාවා එක්ක ඔට්ටුවෙච්ච් කතන්දරවල සිහිවටන පිරුණු එච්චර ප්රිය මනාප නැති මනුස්ස පරාණයක්.
මනමේ කුමාරිගේ කතාවෙ වැද්දාත් ඔය අච්චුවේ ම හාදයෙක් තමයි.මනමේ කුමාරිව මනමේ කුමාරයාට කසාද බන්දලා දෙද්දි කුමාරි කුමාරයට මනාපද කියලා ඇහිල්ලක් වෙන්නෙ නෑ. ඒත් කුමාරයාව අඩුම ගානේ ගුරුගෙදර හිටපු ටික කාලෙදි හරි කුමාරිට මුණ ගැහෙන්න ඇතිනේ.ඉඳලා හිටලා වචනයක් වත් කතා කරන්න ඇති නේ වට්ස් ඇප්,එෆ් බී චැට් නැතුවට.
ඒත් කැලේ මැද්දෙදි කුමාරි කඩුව දෙන්නෙ කුමාරයට නෙවෙයි ඒ මොහොතේ ඇහැ ගැටිච්ච වැදි රජ්ජුරුවොන්ට.ගැහැනු චපල කතාවේ ඉඳලා කුමාරිට වැරදීමක් වුණු තැනට යනකන් ඒ සංගෙදියට එකේකට වෙනස් අර්ථකතනත් ඉතින් තියෙනවා.
හැබැයි තිර නාටකේ හැටියට කුමාරි කියන්නෙ මෙහෙමයි.
"හැඩිදැඩි සිරුරට ආලය සිතුණා
ඔබ හට අසිපත දෙන්නට හිතුනා"
ඒ කියන්නෙ බවලත්තු බලාපොරොත්තු වෙන්නෙ සද්දන්ත සරීර කූඩු තියෙන මිනිස්සුන්වද?
මනමේ දෙතුන් පාරක් බලලා තියෙනවා.අනිත් උදවියට කොහොමද මන්දා අනේ මටත් සුදුම සුදු පාටට බෝල බබෙක් වගේ ඉන්න මනමේ කුමාරයාට වඩා හිත ගියේම වැදි රජ්ජුරුවොන්ටම තමා.
මනමේ බලන්න ගිහින් පැය ගානක් වලේ වල බැහැගෙන ඉඳිද්දි බැචෙක් අපූරු කතාවක් කිව්වා.මනමේ චිත්තරපටියකට ගන්න ගියාලු (මට මතක හැටියට ජැක්සන් ඇන්තනි).වැද්දට තෝරගත්ත නලුවට උන්දෑ කිව්වලු හැම පිරිමියෙක්ම ඇඟේ වැද්දෙක් ඉන්නවා,හැම ගෑනු පරානෙකගෙම හිතේ වැද්දෙකුත් ඉන්නවා, වැද්දගේ චරිතේ තාත්විකව කරන්න නම් ඕන්න ඔය වැද්දව හොයා ගෙන ඉන්න ය කියලා.
කල්පනා කරලා බැලුවම කතාව ඇත්ත.ගෙවල්වල දෙන්නා දෙමාල්ලොම රස්සා කරන හම්බ කරන මේ කාලේ හරි නම් පිරිමි පරාණයක් මත යැපෙන්න ගෑනු පරාණෙකට උවමනාවක් ඇත්තෙ නෑ.ඒත් මට හිතෙන්නෙ තාමත් බවලත් හිත් අස්සෙ හැංගිච්ච මනමේ කුමාරිලා ගෙදර උන්දැලා ගේ ඇවතුම් පැවතුම් අස්සේ වැදි රජ්ජුරුවොන් ව හොයනවා.ඒත් බවලත්තුන්ගේ කැමැත්ත වැද්දට කියලා නොදන්න ගෙවල්වල ඇත්තෝ ගොඩ දෙනෙක් වැදි රජ්ජුරුවන්ව හිතේ අඩියටම තල්ලු කරලා දාලා ස්වීට් මනමේ කුමාරවරු වෙන්න දත කනවා.
මේ නූතන මනමේ කතාවද මන්දා
Good post!
ReplyDelete