හිනාවට අකමැති කෙනෙක් හොයාගන්නට අමාරු ය.ඒත් ඒ තරමටම කඳුළට කැමති මිනිස්සු හොයන එකත් උගහටය. හිනාවට සතුටු වෙන හුඟ දෙනෙක්ට වැටෙන කඳුළ දරා ගන්නට අමාරුය.
පොඩි කාලේ හිටම අම්මලා අපට පුරුදු කරන්නේ හිනා වෙන්නටය.
හිනා නොවුනත් නාඬා ඉන්නට ය.
බහ තෝරන්නට බැරි කාලේ වුනත් ඇඬිල්ල බොහෝම බලවත් සන්නිවේදන මාද්‍යයකි.
හිනාවට අම්මාගේ මූණේ හිනා පිපුණත් ඇඬිල්ලට තරම් අම්මා කළඹන්නට හිනාවට හයියක් නැත.
කරන වැඩ ඔක්කෝම අත ඇර දමා දුවගෙන විත් තුරුලු කරගෙන සනසන්නට අම්මා පොළඹවන්නේ ඇඬිල්ලය.කොහොමටත් පොඩි ඈයෝ තමන්ට වෙන අකරතැබ්බ බොහොමයක්ම අම්මලාට රපෝර්තු කරන්නේ ඇඬිල්ලෙනි.අම්මලා අප්පලා දත කන්නේ ඇඬුමට ඉඩ නොතබා පොඩි එවුන් සතුටෙන් තියන්ටය.
අඬන්නේ නැතිව හිතට දැනෙන දේ වචනවලට පෙරළන්නට පුළුවන් කාලේ වුණත් කඳුළ අපි අත අරින්නේ නැත. සතුටටත් ඇඬුනත් වැඩිමනත් ඇඬුම් එන්නේ දරා ගන්නා මට්ටමෙන් එහාට ම හිත රිදුන වෙලාවටය.කොහොමටත් වචනවලට වඩා දුක අකුරු කරන්න කඳුළු බින්දුව උපන් හපනෙක් ය.
ඇඬිල්ල හොඳ පුරුද්දක් විදිහට සමාජය දකින්නේ නැත. සමාජ සම්ප්‍රදායයට අනුව අඬන එක (විශේෂයෙන් ම පිරිමි පරාණ) අඬන එකාගේ දුර්වල කමක් ය.
ඉතින් ඉස්සර වාගේම (සමහර විට ඉස්සරටත් වඩා)හිත් වල දුක් ගින්දර ගොඩ ගැහුණත් දුක වැඩි වුණාම බෑගිරි ගගහා අඬන්නට ඉඩක් නැත.
හොර රහසේ මිසක කාටවත් පෙනෙන්නට අඬන්නට කොහොමත් ම බැරිය.වෙලාවකට ඇඬිල්ලේ අහවර ඇඬුවාට සමාව ඉල්ලන්න හිතෙන්නෙත් ඒක හින්දා වෙන්න පුලුවන.
ළඟ පාත ඉන්නා එකෙක් හිටි හැටියේ අඬන්න ගත්තාම වටපිටාවේ ඉන්නා එවුන් වැටෙන්නේ ලොකුම අමාරුවක ය.කොහොමටත් අපි දුකට කැමති නැත.
"හා හා අඬන්න එපා.දැන් අඬලා ඔලුව කැක්කුමක් හදා ගන්නවා.හොඳ ළමයා වගේ අඬන්නේ නැතිව කඳුලු පිහිදා ගන්න"ඔන්නොයාකාර හිස අතගෑම් එක්ක ලේන්සු දික්කිරිලි මිසක අඬන එකාට හිතේ හැටියට අඬන්න දෙන සිරිතක් අපිට නැත.
හිනාව ලස්සන ය.කඳුළු ගැන අප්‍රමාන වර්ණනා තිබුනාට හිතේ දුකට අඬන ඇඬිල්ලේ මෙලෝක ලස්සනක් නැත.ගොරකා ගානට රතු වුණු ඉදිමුණු ඇස් ගෙඩි,හොටු පෙරෙන නහයවල්,තඩිස්සි මූණු අද්දර එක අතකට මෙලෝ මනුස්සයෙක්ට ඉන්න නොහිතෙන එකත් සාධාරණ ය.ඉතින් බොහෝ දෙනා කරන්නේ කඳුළ මග හරින එක ය.
කඳුළට හිත්වල ඇති අකමැත්තෙන් අයුතු ප්‍රයෝජන ගැනෙන වෙලාවන් ද නැත්තේ නැත.තමන්ගේ අවශයතාව ඉටු කර ගන්නට ළඟ පාත ඉන්නා උදවිය කඳුළ හරහා නම්මා ගන්නට සමහර ඇත්තන් උපන් හපන් ය.ඒ චෝදනාව වැඩි පුර එල්ලවෙන්නේ බවලත් පාර්ශවයට වුනත් දෙපැත්තේම මම දන්නා තරමින් එහෙම කඳුල අවභාවිතා කරන ඇත්තෝ එමට ය. බවලතුන් එක්ක සසඳද්දී පිරිමි පරාණ අඬන්නේ කලාතුරකින් නිසා පිරිමි කඳුලුවලට හිත් හෙලවෙන්න තියෙන ඉඩ වැඩි වෙන්නටත් පුලුවන.
සමහර හිත්වලට ඉර නැගෙන්නේත් ඉර හැරෙන්නේත් කඳුළත් එක්කමය. බොහෝම පොඩි හිත් කුලකයකට කඳුළ කවදාකවත් මුණ ගැහී නැත.ඔය අන්ත දෙක අතරමැද හැම හිතක් ම අඩු වැඩි වශයෙන් කඳුළත් එක්ක ගනුදෙනු කරනවා ය.ඒ සමහරු කඳුළට පෙම් කරද්දී සමහරෙක් කඳුළට වයිර කරන්නටද හිතනවා ය.
ප:ලි
ඉතින් අහන්න එපා මම ඉන්නෙ කොතනද කියලා.මම දන්නෙ මෙච්චරයි.කඳුළු හීතලයි තමයි.ඒත් හීතලට දැනුණට හිත රිද්දන්නේ නම් කඳුලු නෙමෙයි.
No comments:
Post a Comment