Friday, December 15, 2017

මොන්ටිසෝරි කතා

 අම්මා එක්ක අඩව් අල්ලන බට්ටි පස්සට ඉර එළිය වැටෙනකන්ම නිදනවාය.සීයාට කොච්චර කිව්වත් සැපට නිදාගන්න කෙල්ලව ඇහැරවන්නේ සීයා නොවේය .සීයා අල්ලේ නටවමින් දවල් වරුවේ ගත කරන ජීවිතය වෙනස් කරන්නට ජනේරුවේ වත් බට්ටි මොන්ටිසෝරි දාන්නට ඕනෑය.

මුලින්ම මොන්ටිසෝරි යන කාලයේ වයස හතරක් විතර වෙන්ට ඇතිය.ඒ මොන්ටිසෝරියේ මිස් කලු පාට බවත් ඒ කාලේ හිනා මූණු ක්‍රීම් බිස්කට් තිබ්බ බවත් යන්තම් මතකය.ඒ මොන්ටිසෝරියේ වැඩිකල් නොහිටිය හේතුව අම්මාගෙන් අහගත්තේ ලොකු වුනාට පස්සෙන් පහුය.මොන්ටිසෝරියට ළමයි ගේන වෙලාවට සාරියක් ඇඳන් ඉන්නා ටීචර් අම්මලා ගියාට පස්සේ මාශ්මෙලෝස් ජුජුබ්ස් හදන්න ගොස් ඇත්තේ අපිව ඔහේ අතහැර දමාය.

දෙවැනියට ගිය මොන්ටිසෝරිය හිතට අල්ලලා ගිය බව මතක ය .ලස්සන නිල් පාට සාරි ඇඳගත් ටීචර්ලාගෙන් හොඳම ටීචර් මගේ ප්‍රින්සි ආන්ටි ය.තාත්තා කුකුලා මල්ලේ දමාගෙන වැඩට යන නිසාවෙන් මට යන්නට වෙන්නේ මොන්ටිසෝරියට නොව ප්‍රින්සි ආන්ටිගේ ගෙදරට ය.එතැනින් මොන්ටිසෝරියට යන්නේ ප්‍රින්සි ආන්ටිගේ අතේ එල්ලීය.මොන්ටිසෝරියේ උගන්නපු දේවල් නම් මතකයේ මුල්ලකවත් නැතිය.ප්‍රින්සි ආන්ටිගේ ගුරු පුටුවේ වාඩිවෙන්නට පොඩි කොලුවෙක් එක්ක වලි දමාගත් බව  නම් මතකය.
එකෝම එක දවසක සෙට් එකක් එක්ක මොන්ටිසෝරියේ දොරට තඩිබා තාත්තාට අලුතින් දොරේ වීදුරුව දාන්නට උනා මතක ය.ඒ ඇරුනු කොට නම් මොන්ටිසෝරි කාලේ මම අහිංසකම ළමයෙක් මය.
මොන්ටිසෝරි කොන්සර්ට් එකට පුරුදු කළේ නරි බෑනා නාට්‍ය ය ය. අපි වාගේ දඟ මලු ටිකක් එක වේදිකාවක හිටවන්නත් ටීචර්ලාට සෑහෙන වදවෙන්නට වෙන්න ඇත.ටිකක් වෙලා ප්‍රැක්ටිස් කරද්දී නරියාත් බල්ලාත් අතුරුදන් ය.බලද්දී උන් දෙන්නා සීසෝ පදින්නට ගිහින් ය.

මල්ලි මොන්ටිසෝරි යන්නට කලියෙන් ඩේ කෙයාර් ද ගියේය.සමහරවිට උගේ දැන් කල්කිරියාවට හේතුවත් ඔය විදිහට හිච්චි කාලේ කෙයාර් එක වැඩිවීම වෙන්නට පුළුවන.මොන්ටිසෝරිත් ඒකා අවුරුදු දෙකක්ම ගියේය.ඒත් කොන්සට් එකේ රෝලි පෝලි නැටුමට ඌ වේදිකාවට නැග්ගේම නැත.පස්සේ බොරු සෝබනේට ස්ටේජ් එකේ තියා ෆොටෝ ගත්තාට අදටත් කුස්සිය පැත්තේ රෝලි පෝලි කල බවට කතන්දර අහන්නට වෙන්නේය.කොච්චර මොන්ටිසෝරි යැව්වත් ඔය යකාගේ පූර්ව ළමා විය සංවර්ධනයේ නම් දැනට වඩා ලොකු වෙනසක් බලාපොරොත්තු වෙන්නට අමාරු බවකි මට හිතෙන්නේ.

බට්ටිට අහළ පහළ මොන්ටිසෝරි හොයනා එකනම් ලේසි සෙල්ලමක් නොවේය.මොන්ටිසෝරි දෙක තුනකින්ම ඇප්ලිකේශන් ගෙනාවත් පුරවන්නට වෙලාවක් නැතුව  එව්වා මේසය උඩ වේලෙනවා ය.එව්වා මාගල්වලට වඩා පොඩ්ඩක් දිග අඩුය.මොන්ටුසෝරි දාන පොඩි එකාගේ උපන් දා සිට  විස්තර මදිවාට අම්මාගේ අප්පාගේ කොන්ඩේ පාට නියපොතුවල දිග හිටන් ඇප්ලිකේශන් එකට ඕනෑ ය.

ඇප්ලිකේශන් පුරවලා යැව්වාම ඉන්ටර්වීව් යන්නට ඕනෑය. ගිය අවුරුද්දේ ප්‍රසිද්ධ බාලිකාවක නර්සරියට ඉන්ටර්වීව් ගිහින් හොඳවායින් කට්ටක් කෑවා මතක ය.දවසෙන් භාගයක් වේලි වේලි හිඳ ඉන්ටර්වීව් එකට ගියාම ජීවිතේට දැක නැති දැරිවියන් දෙන්නෙක් රෝස මලක් පෙන්නා බට්ටිව වෙන දිහාවක ගෙන යන්නට වෑයමක් ය.අම්මා,තාත්තා හෝ සීයා නැතුව වෙන කා එක්කවත් යන්නට අම්මා බට්ටිට පුරුදු කර නැත.ඉතින් මඳක් දුර අක්කලා එක්ක ගිය බට්ටි අම්මාටත් කතා කළාය.ඉතින් බට්ටි ඉන්ටර් වීව් ෆේල් වෙලාය.ඒ ඉන්ටර්වීව් එක බට්ටි ෆේල් වුන එක මටනම් සතුටු ය.

කරවනැල්ලේ මොන්ටිසෝරි හෙවිල්ලත් ලේසි නැත.යාන්තං හොයාගත් මොන්ටිසෝරියේ බඩු ලයිස්තුව හොයාගන්නා එක ඊටත් අමාරුය.
පාන් බනිස් බැරිබවත් බත් ඕනෑ බවත් තව නීතියකි.ඒ කියන්නේ අපේ එකා  පාන් බනිස්ම කන බත් අරහං අපේ එකී උදේ වරුවේ හාමත් වෙනවා  ශුවර් ය. ඔක්කෝටම වැඩිය අමාරු වෙන්නේ  බට්ටිව මොන්ටිසෝරියේ තනිකර එන්න සීයාගේ හිත හදනා එකය.

මොන්ටිසෝරි යාම ලේසි සෙල්ලමක් නොවෙනා බව තේරෙන්නේ දැන් ය.

2 comments:

  1. මොන්ටිසෝරි යාම ලේසි සෙල්ලමක් නොවේ තමා ය. මගේ පැංචා මොන්ටිසෝරි යන්නට පටන්ගත්තේ ගිය අවුරුද්දේ මැද හරියේදී ය. මාස එකහමාරක්ම උදේ පාන්දර ගෙදර යම යුද්දේ ය. එයැයිව මොන්ටිසෝරියේ දමා මං ඔෆිස් යන්නේද අඬ අඬා ය. ටීචර්ට ඒ මාස එකහමාරම අපේ පැංචාව වඩාගෙනම ඉන්නට සිද්ද වුණා ය. සීයා එක්ක මොන්ටිසෝරියේ ඉඳං ගෙදර ගියායින් පස්සේද පැංචා අම්මා එයැයිව දාලා ගිය බව කිය කියා ආඩපාලි කියන්නේ ය. ඒ ඔක්කෝම යුද අරගල නතරවුණේ මොන්ටිසෝරියේ ටීචර් පැංචන් වට කරගෙන වොෆල්ස් හැදූ දවසේ ය. අපේ පැංචා බක්කරේ වැඩවලට හරි ආසා ය. වොෆල්ස් මැජික් දවසෙන් පස්සේ ඇඬිලි නැත, රණ්ඩු නැත, ආඩපාලි නැත. මුල් කාලයේදී පූස් පැටියෙකු මෙන් මොන්ටිසෝරියේ මුළු ගැන්වී සිටි අපේ පැංචා දැන් ගෙදරදී වගේම එහෙදීත් දඟ කරන්නේ ය. ලබන අවුරුද්දේත් එයැයි මොන්ටිසෝරිය. :)

    ReplyDelete