ඉස්කෝලෙදී ඉස්සිසෙල්ලාම ටීචර්ගෙන් පනිශ්මන්ට් හම්බෙන්නේ එකේ පන්තියට ගිය ගමන් ය.අලුත් යාලුවෙකුත් එක්ක රුපියල් දහයකුත් අරං කැන්ටිමට ගිය ගමන ආපහු එද්දී ඉන්ටර්වල් ඉවර වෙලා සෑහෙන වෙලා ගිහින් වීම හේතුවයි.
ඉස්කෝලේ කැන්ටිං දෙකක් තිබ්බාට කඩචෝරු කන්නට අපිට ගෙදරින් සල්ලි ලැබුනේ කලාතුරකින් ය.මොකද්දෝ හේතුවකට කෑම පෙට්ටියේ කෑම වලට වඩා හිත යන්නේම කැන්ටිමේ වීදුරු බෝතල්වල පාට පාට සීනිබෝලවලට ය.
ඉස්කෝලේ මොන්ටිසෝරිය අද්දර අරලියා ගහෙන් අහුලාගත් මල්වලට සීනිබෝල හුවමාරු කරනවාදැයි අහන්න පන්තියේ කොලු ගැටයෙක් යාප්පුවෙන් කැමති කරවා ගත්තේත් ඔය දවස්වලය .වැඩේ හරි ගියේ නැත.
පහු වෙද්දී ඉස්කොලේ කැන්ටිමටත් වඩා හිතට අල්ලලා ගියේ අම්මලාගේ ඉස්කොලේ කැන්ටිම ය.අපේ ඉස්කෝලේ නිවාඩු දවසට ,ඉස්කෝලේ ඇරුනාම ඉඳහිට මට නවාතැන් ලැබුනේ අම්මාගේ ඉස්කෝලේ ය.ඉන්ටර්වල් එක කිට්ටු වෙද්දී එන වඩේ රෝල්ස් සුවඳ ට තාමත් හිත කිති කැවීගෙන යනවා ය.අපේ ඉස්කෝලේ වාගේ නොවේ ය.කොල්ලන් කෙල්ලන් එක පොරේට හුන්ඩුවක් සයිස් කැන්ටිමේ උඩට අරින ජනේලෙනුත් දොරෙනුත් එබීගෙන කෑම හටනේ ය.මාත් අත අරින්නේ නැත.අදටත් ඒ වඩේ තරම් රහ වඩේ එකක් වෙන කොහේදීවත් කන්නට ලැබුනේ නැත.
කැම්පස් යනකල් ම කැන්ටිම කෑම අරගෙන මාරු වී යන තැනක් විය.වැටීගෙන ලැගගෙන පැල් බැඳගෙන ගෙදර වාගේ හිටි එකම කැන්ටිම ෆැකල්ටි කැන්ටිම ය.
තට්ටු හතකට හදන බවට පොරොන්දු ලැබී තිබුණත් අපි යන කාලේ එය දැල් ගැහූ ශීට් හෙවිල්ලූ කිසිම ප්‍රසන්න පෙනුමක් නැති දැක්කාට ආදරේ නොහිතෙන තැනක් ම ය.ෆැකල්ටි ගිය මුල් දවසේ වටපිටාව පෙන්නන්න එක්කරං යද්දී ඔය දැල් අස්සෙන් ඔරවාගෙන හිටි ජ්‍යේශ්ඨ මූණත්තහඩු තාමත් මතක ය.
මුල් කාලේ කැන්ටින් ගියාට සින්නන්ට තිබුණ බය නිසා වැඩි දෙයක් බඩට ගියේ නැත.කොහොමටත් මුදලාලිගේ කෑම වැඩිය කන්නට මෙලෝ මනුස්සයෙක්ට බැරි ය.ඒ තරමට රහ ය. ඒ වුනාට බෙදාගත්තු කෑම එක ඉතුරුකරන්නට අපිට තහනම් ය.මුදලාලිගේ කෑම ඉවිල්ලට පින් සිදු වෙන්නට එක දවසක් මගේ පිඟානේ පොල් සම්බෝලේ පොල් කටු කෑල්ලකුත් තියෙනවාය. ඕක කියන්නට යනවාට වඩා ලේසි නිසා මම කලේ පොල් කටු කෑල්ල කටේ තියාගෙන කැන්ටිමෙන් එළියන එනකං ගල් ගිලලා සේ හිටි එක ය.
ඉතුරු නැති වුනාම කැන්ටිමේ මුදලාලි කරන්නෙ ගාන ලියා පොඩි තුන්ඩු කෑලි දෙන එකය.මුදලාලිලා මාරු වුනාම අපට වෙන්නේ තුන්ඩු පුච්චා නලලේ අලු ගා ගන්නට ය.ඒ මදිවාට ගෙම්බා කැන්ටිම ,වූස් කැන්ටිම ආදී කැම්පස් එකේ හැම කැන්ටිමක් ම ඔය තුන්ඩු සෙල්ලම කරන අතර කොයි තුන්ඩුව කොයි කැන්ටිමට අයිති එකක්දැයි හෙවිල්ල ට වඩා නිකා ඉන්න එක ඇඟට ගුණ ය.
පේරාදෙනියේ ඉස්පිරිතාලෙ කැන්ටිම කලේ ඇටෙන්ඩන් කෙනෙක් ය.එච්චෝ කාලේ හදිසියකට කන්නනම් ඒ කැන්ටිමෙන් අමාරුය.ඒ මැඩම් ගාව හැමදාම මාරු නැත.දොලහ පහු වුන ගමන් කෑමත් නැත.කන්න නැතත් ඔහේ විනාඩි පහක් ගිලා බහින පුටුවක වාඩි වී ඉන්නට ඒ කැන්ටිමට රිංගන්න ලැබුනේ එහෙමත් වෙලාවක ය.
කරවනැල්ලේ අපේ කැන්ටිම කරන්නට ගත්තේ මම ගිය මුල් කාලේ ය.අටානූවක් ලෙඩ තියෙන සුනිල් අංකලුත් ඇන්ටිත් ගෙදර මිනිස්සු තරමටම හිතවත් කෙරුවේ ඔය කැන්ටිම ය.ඇන්ටිගේ පැටිස් කොච්චර රසදැයි කියනවානම් ඒක බෞතීස්ම වුනේ ගංජා පැටිස් හැටියට ය.ගෙදර අල්ලපු වත්තේ තිබුනත් මම වැඩි හරියක් කෑවෙ බිව්වේ ඇන්ටිගේ කෑම ය.මම නැතුව පාලු දැනෙන එකම කැන්ටිම කරවනැල්ලේ කැන්ටිම වෙන්න ඕනෑ ය.
අලුත් තැන කැන්ටිම ෆුල් පොශ් ය.ආමන්ත්‍රණය ට මැඩම් එක්කහු වෙන වාර ගාන සෑහෙන ය.අලි පේර ඉල්ලූ විට ඇවකාඩෝත් සැන්විච් පාන් ඉල්ලූ විට ටෝස්ටඩ් බ්‍රෙඩ්නුත් ලැබේ ය.ඒත් කරවනැල්ලේ ලෙන්ගතු කම ඒ පොශ් කෑම එකකවත් ඩිංගක්වත් තැවරී නැතිය.
ඉතින් මගේ හිත මේ දවස්වල බඩගින්නේ මය.
හරිම අගෙයි කැන්ටින් කතා! ඔය වගේ සදා මතක තියෙන කැන්ටින් මටත් තියෙනවා. ජපුරේ දී එක කැන්ටිමක් ගැන ඉස්සර ළමයි විහිලු කරනවා ඒකෙ රෝල් එකක් කාලා ප්ලේන්ටියක් බිව්වොත් මැරෙනවා ෂුවර් කියලා. හේතුව, රෝල් එකේ තියෙන්නේ මඤ්ඤොක්කා, ප්ලේන්ටියේ තියෙන්නේ ඉඟුරු!
ReplyDelete+++++
ReplyDelete