ලබන සතියේ ඉඳන් මාස හයක් ගම්පහ ය.
ඉස්සිසෙල්ලාම යන දවසේ ලංකාවේ සම්මතේට කරටිය නවා සාරියක් පටලවා ගෙන යන්නට හිතට ගත් සැනින් අපේ උන්දෑ තනියට එන්නට කියා සඳුදා නිවාඩුවකුත් දැම්මේ සාරියත් මාත් ගම්පහ යන මඟ කොහේ පටලැවෙයි දැයි නොදන්නා නිසා ය.
මාස ගණනාවක් කොළඹින් කකා ලෙක්චර්ස් වල නිදි කිරා වැටිල්ලේ ආනිසංස හැටියට සාරි හැට්ටය කිට්ටු වෙන්න බෑම කියනවාය.
ඒ අස්සේ අම්මා ජංගමයා හරහා ඇඟට ගොඩ වී හැමදාම සාරි ඇන්දේ නැත්නම් තත්වෙට හොඳ නැති බව පෙන්නා දෙනවා ය.ආත්තම්මා සිහි කිරීමෙන් පලක් නැති නිසා ජංගමයා විසන්ධි කර දහයට ගැනීමෙන් සෑහීමට පත් වෙන්නට සිදු වුනා ය.
සාරිය පිළි වෙලක් ඇති ඇඳුමක් ය කියන්නේ මොන හේතුවකට දැයි මට නං අදටත් හිතා ගන්නට බැරිය.
කොච්චර කිව්වත් හැට්ටෙ මහන ඇන්ටි හැට්ටෙ මහන්නේ පුලුවන් තරං අවම රෙදි ප්‍රමාණයක් පාවිච්චි කරලාය.පිටත් පපුවත් දෙකෙන්ම වැඩි හරියක් එලියේ ය.බෙල්ල මුලටම පියවෙන්න හැට්ටෙ මහන්න පුලුවන් උනත් ඇඳන් ඉන්න නං විදුලි කංපාවකුත් ඒකට ම හයි කරගන්න ඕනෑය.
මං වගේ දාංගලේ අඩු ඇත්තියන් දිග හුස්මක් පිට කර හැට්ටය හැකි වෙර යොදා මූට්ටු කර ගත් පසු අඩියෙන් අඩියට කටු ගසන්නට ඕනෑය.නැත්තං එහෙට මෙහෙඅ හැරෙන කොට ඔව්වා නොදැනීම ඇරිලා ජනතාවගේ ඇස් නිලංකාර වෙනවාය.
සාරි මහන්නේ එහා මෙහා පේන රෙදිවලින්ම නිසා සාරියට වඩා වැදගත් යට සායක් ඇඳිල්ලය.අර වාගේම හුස්ම තද කර යට සාය අඳින්නට ඕනෑ කොහොමටවත් ගැලවෙන්නේ නැති බවට සුවර් විදිහටය.හුඟක් වෙලාවට වැඩි පරිස්සම නිසා හවසට ගෙදර ආවාමත් ඔය ගැටේ ලිහන්නට අමාරුය.
සාරි රෙද්දේ තවත් වැදගත් අංගයක් වෙන්නේ බණ්ඩක්කා මෙන් ලිස්සා යන ගතිය ය.ඉතින් සායට අල්ලමින් සාරිය අඳිද්දී ආයෙමත් අඟලෙන් අඟලට කටු ගැසීම නුවණට හුරු වන්නේ මය.
රටේ සම්මතේට අනුව සාරියත් හැට්ටයත් අතරේ චූට්ටි හෝ පරතරයක් ඇඟ පේන්නටම ඕනෑය.ඇතැම් ලලනාවන්ට ඔය ඉඩ හැට්ටේ උසටම ගන්නටත් ඕනෑය.ඒ කොහොම වෙතත් ඒ ඉඩ නැත්තං ඒක සාරියක් නෙවෙයි ලුය.
ඊළඟට පොට ඇඳිල්ලය.පොට කරකවාගෙන අර ඇඟ තීරුව වහගන්නට ෆුල් ටයි කලත් මේ සම්මජ්ජතියට ඒකත් කරන්න අමාරුය.
තත්වේ කෙසේ වෙතත් ඔය ආකාරයෙන් කටු ලොරි බාගයක් ගසා එතූ සාරිය පොදු ප්‍රවාහනේක වැඩට යනතුරු පරිස්සං කරගැනිල්ලත් වැඩ ඉවර වෙලා ගෙදර එනතුරු පරිස්සං කරගැනිල්ලත් ලේසි පාසු සෙල්ලමක් නං නෙවේ ය.
මම වනිතා කටයුතු ඇමති වුන දාට හැමදාම සාරි අඳින ඇත්තියන්ට වෙනමම දිරි දීමනා කටු මල්ලක් දෙන්නට කටයුතු සම්පාදනය කරනවා ය.ඕ යෑස්.
සාදු සාදු! මේකනං අදහන්නට වටින ලියවිල්ලක්මය. සාරියත් එක්කලා මටත් තියෙන්නේ ඔය වාගේම ගජ මිතුරුදමක් ය. ඉඳ හිට හෝ ඔෆීසියට සාරියක් ඇඳං යන්නට හිතිච්ච දාට පැංචාට මං එනකල් ලක ලෑස්ති වී බොහෝ වේලාවක් බලං ඉන්නට සිදු වෙනවාය. 'අයියෝ අම්මි තාමත් අඳිනවද අනේ?' යැයි ගාමින් පැංචා විසි තිස් වතාවක් පමණ කාමරයට එන්නේ අම්මා සාරි අඳිනවාද නැතිනං නින්ද ගොහින්දැයි බැලීමට විය යුතුය. :D
ReplyDeleteමේ සැරේ එක දිගට ලියමං ගොඩයි වගේ ය. දැනට මේක කියෙව්වෙමිය. අනිත්වාත් හෙමිහිට කියවන්නම්ය. අක්කණ්ඩිට කියන්ටය කියා මලයණ්ඩිට පණිවිඩයක් කීවෙමිය. පණිවිඩය ලැබුණායැයි සිතමිය. :)