අම්මා තරම්ම බට්ටීත් වැස්සට ආදරේ ය.වැස්සක් වැහැගෙන එත්ම "look its raining "
කියා ගෙන ඇබිති කුඩේකුත් ඉහලා ගෙන දුවගෙන ඇවිත් වැස්සට පනින්නීය.
මඩකරියෙක් සේම වතුර වලවල් මඩ වලවල්වලට හරවන බට්ටී මට මතක් කරවන්නේ ගෙදර ඉන්නා කාලයේ වැස්සක් වැටෙනා පරක්කුවෙන් මිදුලට පැනගෙන තෙත බරියන් වෙන තුරු වැස්සේ නටන හැටි ය.දැනුත් එහෙම කරන්නට හිතෙන වෙලාවල් නැත්තේ නෑය.ඒත් එහෙම කලෝතින් අනිවාර්‍යයෙන් ම අල්ලපු ගෙදර මිනිස්සු මා කෙරරෙහි පතළ කරුණාවෙන් අංගොඩ ඉස්පිරිතාලෙට කෝල් එකක් දෙන බව සහතික ය.
පොඩි කාලේ ජීවිතේ හොඳම කාලය කියන්නේ නිකං නොවේ ය.පොඩි හිත් ගැට ගහන්නට සීමා මායිම් නැති ගාන ය.හිතෙන හිතෙන දේ හිතෙන හිතෙන වෙලාවල කරන්නට පොඩි පරාණ වලට අයිති වෙන අසීමාන්තික නිදහස ගැන ඇත්තටම ඉරිසියා හිතෙනවා ය.හිත ඉල්ලන ඕනෑම දෙයක් ඉල්ලන්නට පොඩි පරාණ පසු බට වෙන්නේ නැත.යාප්පුවෙන් ඉල්ලා, නහයෙන් අඬා බැරිනම් බිම පෙරලී හෝ හිත ඉල්ලන දේ ඉල්ලාගෙන සතුටු වෙන්නට පොඩි හිත් උපන් හපන්නුය.
ඒත් එහෙම ඉන්නට ලැබෙන්නේ බොහෝම ටික කාලයක් ය.ගෙදර දොරේ වටපිටාවෙන් නීති රීති දැල් එලන්නට ගන්නේ ඇහි පිය හෙලන පරක්කුවෙන් ය.එහෙ බලා මෙහෙ බලද්දී ඔහේ පියෑඹූ හිත වටේට වැටවල් හත අටක් ම බැඳිලා ය.රටේ ලෝකේ ඇත්තන් බොහෝ දෙනෙක් විසින් හරි හැටියට දකිනා අච්චුවක් ඇතුලේ මිස එතනින් පිටට පනින්නට එතනට එහා හිතට ඉඩක් නැත.
මං වගේ එවුන්ට නම් ඒ අච්චුව ඇත්තම් හිර කූඩුවක් ය.අච්චුවෙන් පිටට අඩියක් තිබ්බෝතින් අච්චුවේ යන ඇත්තන් එක පොදියට විස්සෝප වෙනවා ය.දෝස්මුර අවනඩු අටෝරාසියක් ය.එහෙමත් නැත්තං තමන්ගේ හිත ඉගිල්ලෙද්දී වට පිටාවේ ඉන්න හිත් රිදෙන්නට තියන ඉඩ කඩ බොහෝම ය.වෙන හිතක් රිද්දා හම්බෙන නිදහස විඳින්නට හිත දෙන්නේද නැත.
ඉතින් හිත ඉගිල්ලෙන්නට කොච්චර හීන මැව්වත් බහුතරයක් අකමැත්තෙන් ඔහේ යන්නං වාලේ අච්චුවේම ජීවිත රෝදය කරකවනවා ය.
බොහෝම සුළු පිරිසක් අච්චුවට පයින් ගසා හිතට දැනෙන විදිහට ජීව්තේ විඳින්න පුරුදු වෙනවා ය.තමන්ගේ හිතට ඕනෑ දේ මිසක් වෙන මෙලෝ ඉටිගෙඩියක් ගැන උන් හිතන්නේ නැත.එක් අතකට මේ පරාණ පට්ට ආත්මාර්ථකාමී කියා හිතෙන්නත් පුළුවන උන් දිහා වැඩි හරියක් දික්වෙන්නේ වපරැස් වුනත් උන්ට ඒවා වගේ වගක් නැති ය.
ඕනෑ දවසක ඕනෑ වැස්සක නටන්නට උන් දෙවරක් හිතන්නේ නැත.
No comments:
Post a Comment