Friday, November 30, 2018

ළං වී මට දැන් කියන්න ආදරේ දෝ

ඩිංගිරි අම්මා උන්නෙ ලොකු පුතාලෑ දිහෑ නැවතිලා.හරමානිස් අප්පු පණ පිටින් ඉන්න කාලෙත් ලොකු පුතා නිතරම කිව්වෙ එහෙ ඇවිදින් නතර වෙන්න කියලා.ඒත් හරමානිස්ගෙ කැමැත්තක් තිවුනේ නෑ මහගෙදර දාලා යන්න.
හරමානිස් යන්න ගොහින් දැන් තුන්මාසෙකුත් ගෙවිලා.මහගෙදර අත අරින්න ඩිංගිරි අම්මාටත් හිත දෙන්නෙ නෑ.ඒත් ඊට වැඩිය අම්මා මහ ගෙදර තනිපංගලමේ හින්දා ලොකු පුතා හිතේ ගින්දරෙන් ඉන්න එක ඉහළ මතු වුන එකයි සිද්ද උනේ.
ඉතින්  ඇවටිලි අහලා අහලා බැරිම තැන ඕං ඊයෙ ඩිංගිරිඅම්මා කොළඹ ආවා.අනේ වාසනාවන් ලොකු කොලූයි පොඩි කොලූයි දෙන්නම කසාද බැන්ද ගෑනු දරුවො ඩිංගිරි අම්මට කිසිම වෙනස් කමක් කළේ නෑ.
ඒත් කිසිවැඩක් පළක් නොකර මේ ගෙදර ඉන්න එක නං කී දවසක් කරන්න පුලුවන් වෙයිද මන්දා.හිත තිස්සේම දිව්වේ ගමට.හරමානිස් අප්පු ඉතිරි කරලා ගියපු මතක කතන්දරවලට .
ලොකු පුතා ගෙනත් දීපු රේඩියෝ පොඩ්ඩෙ උදේ පිරිත් ඉවර වෙලා සෙත් කවි පටන් ගත්තා.ඩිංගිරිහාමි කාමරෙන් එළියට ආවෙ පුතාලා මේ වෙලාවට වැඩට යන්න පිටත් වෙන බව දන්න හින්දා.ලොකුපුතයි ලේලියි ඩිංගිරිඅම්මයි හිටියෙ පල්ලෙහා තට්ටුවෙ.උඩ තට්ටුවෙ පදිංචිය ලොකු පුතාගේ එකම දෝනියන්දෑ එහෙම නැත්නං ඩිංගිරි අම්මගෙ ලොකුම මිණිපිරී නුශාලියි ඒ දැරිවිගෙ මහත්තැනුයි.ඒ ජෝඩුව කසාද බැඳලා තාම අවුරුද්දක්වත් ගියෙ නෑ මගෙ හිතේ.
"අම්මෙ මම ගිහින් එන්නම්" සාලෙට ආපු ඩිංගිරිඅම්මාට ලොකු පුතා වඳිද්දි ලේලි කුස්සියෙ ඉඳන් දුවගෙන ආවෙ පුතාගෙයි බෑණගෙයි දවල් කෑම දෙක අරගෙන.
"මම ගිහින් එන්නං සාගරිකා"කෑම එකත් අරං ලොකු පුතා එලියට බැස්සෙ ලේලිගෙ ඔලුවත් අත ගාගෙන
මිණිපිරී බෑනත් එක්ක පඩිපෙලෙන් පහළට බැස්සෙ ඒත් එක්කමයි.
"ගිහින් එන්නං අම්මා.ගිහින් එන්නං අත්තම්මා"දවල් කෑම එක සාගරිකගෙ අතින් ගත්තු බෑණා ලේලිටයි ඩිංගිරිඅම්මටයි වැඳලා ඉක්මණට එළියට බැස්සෙ "සී යූ නුශාලී "කියා ගෙන
"රවීන්, ආර්න්ට් යූ ෆොර්ගෙටිං සම්තිං?"
රෝසමල වගේ පිපිලා තිබ්බ මිණිපිරීගෙ මූණ උඩින් කළු වළාකුළක් පාත් වුනේ එක ඇහිල්ලට
"වට් නුශාලි?අයිම් ගෙටිං ලේට් බබා"බෑනා ආපහු හැරුණෙ උන්දැගෙත් මූණ කළු කරං
"අහ්, අනේ සොරි බබා , අයි ෆොර්ගොට්"
අඩියට දෙකට ආයෙ ගෙට පැනපු බෑණා කොලූ මිණිපිරී බදාගෙන නළල මැද්දට හාද්දක් දීපි.
"අයි ලවු යූ ඩාර්ලිං ,ටේක් කෙයාර්"
බෑනයි මාමයි අරං කාර් එක ගේට්ටුවෙන් එළියට යනකනුත් ඩිංගිරිඅම්මා ඇරගත් කට වහන්න අමතක වුනාලු.
ඇයි දෙයියනේ මේ වැඩිහිටියො දෙන්නෙක්ම ඉස්සරහ මෙහෙම හැසිරෙනවද?
ලොකු ලේලි මෙහෙමද ළමයි හදන්නෙ?ඩිංගිරිඅම්මගෙ හිතේ නුරුස්නා ගතියක් හක්කලං කරන්න ගත්තා.
ආයෙත් පණ ගහලා ආපු මිණිපිරී ඩිංගිරිඅම්මගෙ පැත්තට හැරුණෙ ඒ පාර.
"බලන්න ආච්චම්මා, වැඩට දුවන්න තියෙන තදියම මට කිස් එකක් දෙන්නත් අමතක වෙනවා.දැන්ම ඔහොම නං තව කල් ගියාම මාව අමතක ම වෙලා යයි"
මොනවා කියන්නද හිතාගන්න බැරුව ඩිංගිරිඅම්මගෙ හිත තෙපර බාන්න ගත්තා.
ආත්තම්මා සද්දයක් නැත්තෙ ඇයි කියලා නුශාලි කල්පනා කළා.මෝඩයා වගේ කියවපුවයින් සීයව මතක් වුනාද දන්නෙ නෑ.ශිහ්.
"අනේ සොරි අච්ච්ම්මා.අච්චම්මට සීය මතක් වුනාද මං එහෙම කිව්වම" නුශාලි  ඩිංගිරිඅම්මා ගාවින් වාඩි වුණා.
හරමානිස් මතක් වෙලා ඩිංගිරි අම්මගෙ මූණට හීන් හිනාවක් ආවා.
"නෑ අච්චම්මා මගේ සයිකොලොජි කෝස් එකේ එක ලෙක්චර් එකකදි ඉගැන්නුවා මැරේජ් එකකදි තමන්ගෙ හිතේ තියෙන ඉමෝශන්ස් හැමතිස්සෙම අනිත් කෙනාට දැනෙන්න දෙන්න ඕනෙ කියලා.අඩුම ගානෙ දවසට එක වතාවක් හරි මම එයාට ආදරෙයි කියන එක වචනෙන් මතක් කරන්න ඕනෙ.එතකොට තමා හොඳ රිලේශන්ශිප් එකක් හැදෙන්නෙ"
මිණිපිරී පහුගිය අවුරුදු දෙක තුනම රට හිටි හින්දද මන්දා ඒ කෙල්ල වැඩි හරියක් කතා බහ කළේ සිංගිරිස් වලින්.ඉතින් ඔය කතාවේ වැඩි හරියක් ඩිංගිරි අම්මට තේරුනේ නෑ.
තේරුනේ එක කෑල්ලයි.
"ආදරෙයි කියලා වචනෙන් මතක් කරන්නෙයි කිව්වා?"ඩිංගිරි අම්මගෙ ඇස් නැවතුනේ නළල ඉහත්තාවෙ.
"ආහ්, ඇයි අච්චම්මට  සීයා ආදරෙයි කියලා නැද්ද කවදාවත්"මිනිපිරීගෙ ඇසුත් ඩිංගිරි අම්මගෙ ඇස් පස්සෙන්ම කඳු නැග්ගා.
ආදරෙයි කියන්න හරමානිස් අප්පු ඩිංගිරි අම්මට?
මගෙ අප්පේ මොන විලිසංගෙ නැති වැඩක් ද?
දීග යද්දි ඩිංගිරිඅම්මට පහලොහ ලැබුවා විතරයි.හරමානිස් අප්පු අප්පොච්චා එක්ක කතා බහ කර ගත්තා මිසක ඩිංගිරිඅම්මගෙ කැමැත්ත කවුරුත් ඇහුවෙ බැලුවෙ නෑ.
ඩිංගිරි අම්මට උන්දැට අකමැති වෙන්න  කාරණයක් තිබ්බෙත් නෑ.
මගුල් දා පෝරුවෙදි ඩිංගිරි අම්මගෙ අතින් ඇල්ලුවට පස්සෙ හරමානිස් අප්පු ආයෙ පිට මිනිස්සු ඉස්සරහ උන්දැගෙ අතින් ඇල්ලුවෙ සහලෝලා උණ අරං වෙද ගෙදර ගියපු දාක විතරයි.
ලොකු කොලුයි පොඩි කොලුයි, අකාලෙම මියැදිච්ච තව පොඩි එවුන් තුන් දෙනෙකුයි හැදුවෙ වැඩුවෙ එකට උණාට කවදාවත් මිණිපිරී කියන්නැහේ ආදරේ කතන්දර කියන්න නං උන්දෑ කටක් ඇරියෙ නෑ.
ඩිංගිරි අම්මගෙ මූණ උඩිනුත් කළු වලාවක් පාවී ගෙන එන්න ගත්තා.
ඒත්,
ඒ එක්කම
ඩිංගිරි අම්මට මතක් වුනා හරමානිස් අප්පු රෑට බත් හට්ටියකට වගකියලා අහවර වෙලා
"ඔහෙගෙ කෑම ටික නං පංකාදු පහයි" කියලා හීනියට හිනා වෙන අපූරුව.
ඩිංගිරි අම්මට මතක් වුනා  හරමානිස් අප්පු ඉඳ හිට දවසක පාන්දර කොළඹ එන්න පිටත් වෙලා ලොකු කොලූගෙ ඔලුව අතගාලා කියනවා
" ලොකු කොලූ, හවස් වෙන්න කලින් ගෙදර එනවා හොඳයි බොලෑ අම්මව තනි නොකර, මං එද්දි රෑ බෝවෙයි. "
ඇයි  එතකොට ලොකු කොලූ හම්බෙන්න හිටි සන්දියේ හරමානිස් අප්පු මහ ලිඳෙන් වතුර ඇදලා ඩිංගිරිඅම්මව නාවපු හැටි.එපා කියලා පෙරැත්ත කරද්දි වතුර කළගෙඩියත් ගෙදරට එනකං උස්සන් ආවෙ ඒ  උන්දැම තමා.
ගෙදර ඉන්දැද්දි කෑම පිඟාන බෙදලා අතට දුන්නම පළවෙනි බත් කට අනන්න කලින් "ඔහේ කාලයි ඉන්නෙ?"කියලා අහන්න මතක තිබ්බ හැටිත් ඩිංගිරි මැණිකෙට මතක් වෙනවා.
මහ ගෙදර මිදුලේ සාර සුභාවට එක එක පාටට මල් පිපුණම උදේට හවසට කට්ටිය එන්නෙ මල් කඩන්න අහගෙන
ගෙදර ඉන්න වෙලාවක එහෙම ආවොත්
"කඩා ගනිල්ලා ඇති තරම්, අපේ උන්දැගෙ අත් ගුනේ තමා ඔය"කියලා හරමානිස් අප්පු කියන්නෙ ආඩම්බරෙන් ඇස් නටව නටව
හරමානිස් අප්පුගෙ පණ යන්නෙ විල්බට් කොලූගෙ කාර් එකෙන් හරමානිස්ව අරන් ඉස්පිරිතාලෙට ඉගිල්ලෙද්දි.
හරමානිස් අප්පුගෙ ඔලුව ඔඩොක්කුවෙ තියන් උන්න ඩිංගිරිඅම්මාට
"ඔහේ පරිස්සමෙන්" කියලා කියලයි උන්දැ යන්න ම  යන්නෙ.
කළු වළාකුළු ගහගෙන ගිහින් ඩිංගිරි අම්මගෙ මූණේ ආයිත් හිනාමල් පිපෙනවා.
"ආව් ආව්,මේං ඒක ඇහුවම අච්චම්මට තියෙන සංතෝසෙ"
නුශාලි උඩ පැන පැන හිනාවෙන්නෙ පොඩි කෙල්ලෙක් වගේ.
ඩිංගිරි අම්මා පුටුවෙන් නැගිටලා කුස්සියට යන්නෙ ලේලිට උදව්වක් පදව්වක් කරන්න.
ආදරෙයි කියලා වචනවලින් කියන්න ඕනෙ තමයි.ආදරෙයි නොකියා ආදරෙයි කියන්න වචන ඕනෑ තරම් තියෙනවා.

ඇගේ කතාව

එලිසබත් ඈන් ස්මාට් ඇමරිකානු තරුණියක්.
2002 වසරේදී ඇයට වයස අවුරුදු දහ හතරයි.බ්‍රයන් ඩේවිඩ් මිශෙල් නමැති අපරාධකරුවා ඇයව ඇගේ නිවසේ සිටියදී පැහැර ගෙන යන්නේ 2002 දී.
පුරා මාස නවයක් ඔහු හා ඔහුගේ බිරිඳ මේ දැරිය සිර කර තබා ගන්නවා පමණක නොව ඇයව කායික ,මානසික හා ලිංගික අපයෝජනයට ලක් කරනවා.
මේ ඇයට සිදු වූ දේ  ගැන විස්තරයක්  නොවෙයි .
මේ ඇය කියන කතාවයි.
මේ වචන ඇගේ වචනවල සිංහල පරිවර්තනක් පමණයි.
"මා ගලවාගත් දිනට පසුදා උදේ මගේ අම්මා මට ජීවිතේ ලැබුන හොඳම උපදෙස මට දුන්නා.
මම හැමදාමත් අම්මාට ඇහුම් කන් දෙනවා.ඇගේ උපදෙස් පිලිපදින්න උත්සාහ ගන්නවා.(එහෙම කරගන්න බැරි වෙන වෙලාවලුත් තියෙනවා )
ඇය කිව්වා "එලිසබත් , මේ මිනිස්සු ඔයාට කරල තියෙන්නෙ ලොකු විපත්තියක්, ඒක කොච්චර නරක නපුරු දෙයක් ද කියලා විස්තර කරන්න මට වචන නැහැ.ඒ අය ඔයාගේ ජීවිතෙන් මාස නවයක් හොරකම් කරගත්තා.ඒ මාස නවය ආයෙ කවදාවත් ඔයාට ලැබෙන්නෙ නැහැ.
ඒත්...
ඒ අයට ඔයාට දෙන්න පුලුවන් හොඳම දඬුවම තමයි සතුටෙන් ජීවිතේ ඉදිරියටම යන එක.ඔයාට ජීවිතේ  ඕනකරන  හැම දෙයක් ම ළඟා කරගන්න එක.
මොකද කියනවනං ඔයා වෙච්ච දේ ගැන දුක් වෙනවනං ඒ අතීතය බදා ගෙන ඒකෙම ඇලිලා ඉන්නවා නං ආයෙ ආයෙ ඒක මතක් කර කර විඳවනවානම් ඒකෙන් වෙන්නෙ ඔයා ඒ මිනිස්සුන්ට ඔයාගේ ජීව්තේ තව තවත් හොරා ගන්න ඉඩ දෙන එක.
ඒ අපරාධකාරයො වෙනුවෙන් එහෙම කරන්න කොහොමත් ම වටින්නෙ නෑ.ඔයාගේ ජීවිතෙන් තව එක තත්පරයක්වත් ඒ වගේ මිනිස්සු වෙනුවෙන් නාස්ති කරන්න ඕනෙ නෑ.
ඉතින් ඔයා සතුටින් ඔයාගෙ ජීවිතේ ඉස්සරහටම යන්න ඕනෙ.
නඩු විභාගයේදී නැවත ඒ අපරාධකරුවන්ට මුහුණ දෙන්නට වීම ගැන එලිසබත් ඉන්නෙ චකිතයකින්.තමන්ට වද දීපු පුද්ගලයා දැක්කම තමන්ට මොනවා හිතෙයි දැයි ඇයට හිතා ගන්නට බැරි වෙනවා.
නමුත් මාංචු සමඟ ඔහුව දකින ඇයට හැඟෙනවා ඇය අම්මාගේ උපදෙස් අකුරටම පිලි පැඳලා තිබෙන බව.
..........මට තේරුම් යනවා තවදුරටත් ඔහුට මගේ ජීව්තයට බලපෑමක් කරන්නට බැරි බව.මට දැනෙන ශක්තිමත් හැඟීම හරිම අපූරුයි.............
නඩු විභාගයේ තීන්දුව ඔහු වරදකරු හැටියට ලැබුනු අවස්ථාවේ එලිසබත් ගෙන් නඩු කාර තැන අහනවා ඔහුට කියන්න යමක් තියෙනවද කියලා.
........මම නැගිටලා කිව්වා ඔහුගෙන් තවදුරටත් මගේ ජීවිතයට බලපෑමක් ඇත්තෙත් නැහැ.ඇති වෙන්නෙත් නැහැ.මම බොහොම අපූරුවට ඉස්සරහට ජීවත් වෙනවා කියලා....
.......මම තේරුම් ගත්තා අපි සමාව දෙන්නේ අපිට වැරැද්දක් කරපු අය වෙනුවෙන් නෙවෙයි අපි වෙනුවෙන් කියලා...
....ජිවිතේ තිබෙන්නේ ජීවත් වෙන්නයි.
ඔබට මොන දේ වුනත්, ඔබේ අතීතයේ මොන දේ වුනත්, ඔබගේ පසුබිම කොයි වගේ වුනත්...අපි හැමෝටම  සතුටින් ජීවත් වෙන්න අයිතියක් තියෙනවාමයි...
....ජීවිතේ අයහපත් දේවල් වෙන්න බැරි නැහැ.
ඒත් ඒ දේවල් වලින් අපව හඳුන්වාගන්නට හෝ අපව විනාශ කරන්නට දෙන්න අවශ්‍ය නැහැ...
....ඔව් හැමදාමත් මිනිස්සුන්ට මාව මතක තියෙන්නෙ "කිඩ්නැප් කරපු ගෑනු ලමයා "කියලා වෙන්න පුලුවන් .ඒකට කමක් නැහැ .....
මොකද මම දන්නවා මම කියන්නෙ ඒ හැඳින්වීම විතරක් නෙවෙයි කියන එක.
ඔවු මට එහෙම දේකට මුහුණ දෙන්න වුනා.
ඒත් ඒ දේට මාව නවත්වන්න බැරි වුනා.
ජීව්තේ මම ඉදිරියට යන එක, විවාහ වෙලා පවුලක් ගොඩ නගන එක, වෙනසක් වෙනුවෙන් ,ගැහැනු අය ,ගැහැනු ළමයි, මේ වගේ කරදරයක වැටුනු හැමෝම වෙනුවෙන්හඬ නගන්න මේ වගේ ඉදිරිපත් වෙන එක නවත්තන්න ඒකට පුලුවන් වුනේ නැහැ.
ඔව් .මේ වගේ සිදුවීම් අපේ ජීවිතවලට වෙනස් කම් එක් කරනවා.අපේ ජීවිත වෙනස් විදිහට හැඩ ගස්වනවා.
නමුත්  මේ සිදුවීම්වලට ඔබේ ජීවිතය ගැන තීරණය කරන්නට බැහැ.
මොකද ඔබේ ජීවිතේ ගැන තීරණය වෙන්නේ යම් සිදුවීමකට ඔබ ප්‍රතික්‍රියා කරන විදිහ , ඔබ ගන්නා තීරණ උඩයි.
ඉතින් මම ඔබට කියන්නෙ..
ඔබ මොන දේට මුහුණ දුන්නත්..
ඔබට මොනදේ කරන්නට වුනත් ..
මතක තියා ගන්න
ඔබ කවුද කියලා තීරණය කරන්න අයිතිය තියෙන්නෙ ඔබට විතරයි..
ඔබේ ඉරණම ලියන්න පුලුවන් ඔබට විතරමයි..

මෙන්නෝ වයසට යනවෝ

ඉපදුන දවසේ ඉඳන් හැම තප්පරේකම අපි හැමෝම කරන එකම එක දේ මොකද්ද?
වයසට යන එක නෙ.
අපි වයසට යන්න කැමතිද?
හෑ.මොලේ කොලොප්පං වෙලාද?කවුද කැමති වයසට යන්න?කුදු ගැහිලා හම රැලි වැටිලා කෙස් සුදු වෙලා , දත් හැලිලා
ඇස් පේන්නෙ නෑ,අත පය වාරු නෑ, සිහියක් පතක් නෑ.එහෙම ජීවිතේකට කවුද කැමති?
ඇත්තටම පොඩි කාලෙ තරුණ කාලෙ අපි කවුරුත් කැමත්තෙන් ඉන්නවද වයසක අත්තම්මෙක් සීයෙක් වෙන්න?
එතකොට ටිකාක් විතර මැද වයසට එනකොට?
හම්මේ මේ වගකීම් පොට්ටැන්න බිමින් තියලා හුස්මක් කටක් අරං නිවී සැනසිල්ලෙ ඉන්න පුලුවන් වයසට ගියාම කියලා හිත හදා ගන්නවා.
ඇත්තටම වයසට ගියාම එහෙම නිවී සැනසිල්ලෙ ඉන්න පුලුවන්ද ?
සමහර ජීවිතවලට වයසට ගිහිල්ලත් තමන්ගෙ බර පොට්ටැනි බිමින් තියන්න ඉඩක් හම්බෙන්නෙ නෑ.
පෙන්ෂන් ගියාට පස්සෙ සෙකුරිටි රස්සා හොයන් යන මිනිස්සු , හඳුන්කූරු ස්වීප් ටිකට් විකුණන මිනිස්සු තාමත් බැරිමරගාතේ තමන්ගෙ පවුල්වලට කන්න අඳින්න හොයනවා.
තව සමහරු ළමයින්ගේ බර ඇදලා ඉවර වෙච්ච හැල්මේම මුණුපුරු මිණිපිරියන්ගේ බරත් කරට අරන් ආයෙත් හැල්මේ දුවනවා.
තවත් සමහරු දුවා දරුවෙක් ගෙ ගෙදරක කාමරේක  ඒ දරුවන්ගේ ජීවිතවල බර පොට්ටැන්නක් වෙලා හිර වෙනවා.
තව සමහරු තමන්ගේ ගෙවල්වල දුවා දරුවන් ඉඳහිට ගෙදර එනදවසක් වෙනකං මග බලනවා.
එහෙමත් එන්න කවුරුත් නැති සමහරු මහලු නිවාසවල එකම විදිහට ගෙවෙන දවල් රෑ අස්සෙ තනි වෙනවා.
ඒකත් එක්තරා වාසනාවක් ද හිතෙන්නෙ එහෙම තැනකටවත් යාගන්න බැරුව පාරවල්වල අනුන්ට අතපාන වයසක ජීවිතත් අප්‍රමාණ හින්දා.
ඇත්‍තටම අපේ වයසක උදවිය සතුටින් ද?
වයසට යනවත් එක්කම ලෙඩ රෝගත් අත වනන්න ගන්නෙ හිත් තවත් කලු කර කර.ආන්ඩුවෙ ඉස්පිරිතාලෙක ක්ලිනික් එකක ඕපීඩී එකක වැඩි හරියක් බැලුවොත් වයසක උදවිය.
සීනි,ප්‍රෙශර් ,හන්දි කැක්කුං, ඔය හැම කැක්කුං විදිහට එළියට එන හිතේ කැක්කුං  මේ බොහෝමෙකට හරි හැටි බෙහෙතක් තියෙනවද කියන එකත් ගැටලුවක්.
වයසක මිනිස්සුන්ට ආදරේ ඕනෙ නැද්ද?අවුරුදු ගානක් තමන් එක්ක හිටපු සහකාරයා සහකාරිත් මේ ලෝකෙන් යන්න ගිහින් කාලයක් වුනාම කර දඩු උස්මහත් වෙච්චි ළමයිනුත් තම තමන්ගේ කූඩුවල උණාම වයසක හිත් වලට තනියක් දැනෙන්නෙ නැද්ද?සමහර මිනිස්සුන්ගෙ ජීවිතවල මල් පිපෙන්නේ අන්තිම හැතැම්ම දෙක තුනේ වෙන්න බැරිද?
වයසක මනුස්සයෙක් ආයෙ ආදරයක් ගැන හිතුවොත් නාකි විසේ ගෙටත් උසේ නොකියා ඒ මනුස්සයා දිහා සාමාන්‍ය විදිහට බලන්න අපිට පුලුවන්ද?
වයසක මිනිස්සු කියන්නෙ ඇවිදින පුස්තකාල .ඉගෙන ගත්තා හෝ නැතා හරි තමන්ගේ ජීවිත කාලෙ පුරාවට සමාජෙන් එකතු කරගත්තු මහා දැනුමක් ඒ මිනිස්සුන්ගෙ හිත් අස්සෙ පුස් කනවා කියලා හිතෙන්නෙ නැද්ද?ඒ මිනිස්සුන්ගෙ වචන වලින් ඒ මිනිස්සුන්ගෙ අත්දැකීම්වලින් තාම ලෝකෙ දැකපු නැති පොඩි එවුන්ට අලුත් අලුත් විදිහට ලෝකෙ දකින්න බලන කොලු ගැටවුන්ට කොච්චර දේවල් ඉගෙන ගන්න පුලුවන්ද?ඒත් ගෙයිමුල්ලේ තියපු වයසක පරම්පරාවට අලුත් පරම්පරාවත් එක්ක ඔය දේවල් බෙදාහදා ගන්න ඉඩක් තියෙනවද?
මැරෙනවා කියන්නෙ මේ ජීවිතේ කෙළවර.ඒත් වයසට යනවා කියන්නෙ මැරෙනවා කියන එක නෙවෙයි නේද?වයසට ගියාම ජීවිතේ විඳින එක නවත්තන්න ඕනෙද?
වයසක මිනිස්සුන්ට ඔට්ටු පිනක් දහමක් කරගෙන ඉන්න එක විතරද?වන්දනා ගමන් ඇර ට්‍රිප් යන්න ඒ උදවියට පර්මිශන් නැද්ද?
ජීවිතේ දිග වෙනවා කියන එක වාසනාවක් වෙන්න පුලුවන් .
හැබැයි ඒ හුස්ම වැටිවැටී ඔහේ ඉන්නං වාලෙ ඉන්නවා නං නෙවෙයි ජීවත් වෙනවා නං.
වයසක මිනිස්සුත් ජීවත් වෙන්න ඕනේ .නිකම්ම නිකං ජීවත් වෙනවා නෙවෙයි කොලිටියට ජීවත් වෙන්න ඕනෙ.ජීවිතේ විඳින්න ඕනෙ.
ඔන්න මම නං වයසට ගියත් මෙහෙම්මම තමයි ඈ.

Tuesday, November 20, 2018

ගින්දරී

හැබෑට මං මොකද ඒ වෙලාවෙ කර කර හිටියෙ?
අම්මපා මට ඒ ගැන මෙලෝ මතකයක් නැද්ද?
හරියට කවුරුහරි දෙකේ දෙකේ පොල්ලකින් ඉස්මුදුනට පත බාලා වගේ
ආහ්...මතක් වුනා....
එදාත් වෙනදා වගේම නැගෙනහිරෙන් ඉර පායපු බොහෝම සාමාන්‍ය දවසක් .
ඇස් නිලංකාර වෙන ඉර එළියට මගෙ කිසිම කැමැත්තක් නෑ.ඒත් අගුලු දාපු ජනෙල් පියන් අස්සෙන් ඉර එළිය  අංශු මාත්‍රයක් කොහොම හරි කාමරේ අස්සට රිංගනවාමයි.ඒ හින්දා කාමරේ බොහොම සාමකාමී අලු පාටක් පැතිරෙනවා.කට්ට කලු පාටට වඩා ඒ අලු පාට හොඳ හින්දා මං බොරු තරහක් පෙන්නලා ඉර එළි තීරු නොදැක්ක ගානටම උන්නා.
සඳුදා මගේ ෆයිනල් රිසර්ච් එක භාර දෙන්න තියන අන්තිම දවස.
කොච්චර කල් තිබ්බත් රතු ඉර පේන තෙක් මානෙට එනකං බුල් කෙල කෙල ඉඳලා භූමිතෙල් වැදිච්චි ගැරඬියා වගේ දඟලන පුරුද්ද මට තිබ්බෙ පොඩි කාලෙ ඉඳලා .එදා සෙනසුරාදා .තව දවස් දෙකක් තිබ්බත් ස්ට්‍රෙස් එක ඇඟට දැනීගෙන එමිනුයි තිබ්බෙ.
සීනි හැඳි තුනක් ම දාලා ප්ලේන්ටියකුත් හදාගෙන රිසර්ච් එකත් දිගඇරගෙන මං සුභ නැකතින් වැඩට බැහැලා වැඩිම උනොත් ඕන්නං විනාඩි පහක් යන්නැති.
ඉස්සිසෙල්ලාම ඇහුනෙ අඩි සද්දයක්.මගේ ජනේලෙ කිට්ටුවෙන්.
මොන මල යකෙක් පාත්වෙන්න හදනවද ඒ පාර?වැඩක් කරන්න හැදුවා විතරයි .
ම්හු...මොකෙක්වත් නෑ.
මගේ මනෝ විකාර ද කොහෙද?
බ්...රා.....ස්
ඉස්සරහ දොර ඇරෙන සද්දෙ ඇහුනෙ මහ සද්දෙන්.
යකෝ ඒක වහලා උඩ සොයිබෙත් දාලා ආවනෙ මං.මේ මොන මගුලක් ද මේ වෙන්නෙ බලන්න නැගිට්ටා විතරයි මට මතක
සරා.....ස්
ඒ පාර ඇරුනෙ මගෙ කාමරේ දොර
මගේ කාමරේ පැටලි පැටලි හිටපු අලු පාට තප්පරෙන් වැනිශ්
මොකාද යකෝ මේ හුලු අත්‍තක් පත්තු කරගෙන?
කාමරෙන් එකක් ගිනි විසිවෙන රතු තැඹිළි පාර පිටාර ගලද්දි මේ මොකාද බලන්න බැරි වුනේ තාමත් මේ ගිනිහට්ටියට  ඇස් නිලංකාර වෙලා තියෙන හින්දා
කවුද හු...
තැඹිලි රතු එලියට ඇස් හුරු වෙද්දි කියන්න ගියපු හරුපෙත් ගිලිලා දිවත් ගිලුනා කියහං කො.මගෙ හිතේ ඇස් දෙක දොට්ට පනින්න ඔන්න මෙන්න වෙන්ටැති.
වතුර ගලන්නැහේ දාඩිය පීල්ලක් කන් දෙක දෙපැත්තෙන් ගලා ගෙන ගියා වගෙත් තේරුණා
හුළු අත්‍තක් නෙවෙයි ඒක පන්දමක්
පන්දම අතින් අරන් හිටියෙ එයා....
ලෙක්චර්ස්වලදි ඉඳලා හිටලා එයා දිහා මං ඇස් කොනෙන් බැලුවෙ නෑ කියලා කිව්වොත් ඉතින් ඒක රට කෙබරයක්.ඇයි යකෝ මාත් හුස්ම වැටෙන කොල්ලෙක් නෙ.
ඒත් එතනින් එහාට අඩු ගානෙ මගෙ හීනෙකටවත් මම ඒකිට ඉන්වයිට් කරලා නෑ.
මොකද මං මොකාද කියලා මම හොඳට දන්නවා.
මම උදේට ලෙක්චර් එකට හවසට බෝඩිමට කියන බොහෝම ඉන්ටරෙස්ටින් රූටීන් එකේ හිරවෙච්ච අලුපාට ජීවිතේ සැප විඳින කොල්ලෙක්.
එතකොට ඒකි...
ඉඳහිට දවසක ඔය කොල්ලො බොන තැනකට සෙට් වුන වෙලාවට ඒකි නොවරදින ටොපික් එකක්.
ඒකි යක්ස භාන්ඩයක් බං.
කවුරුත් කිව්වෙ එහෙම.
සෑහෙන හයි ප්‍රොෆයිල් තියෙන කොල්ලො ඒකි දාගන්න හැදුව බව මං දන්නවා.
ඒකි උන්ට ඇණ දුන්නෙ මාලුන්ට පොරි දාන ගානට.
ඒකි කොල්ලො අරහං එකක් ද කියලත් අපේ උන්ට සැකයක් නොතිබ්බාම නෙවෙයි
ඉතින් හත්තිලව්වේ මේං මේකි මගෙ කාමරේ.
ඒ අස්සෙ කොහෙද මන්දා දානයක් ද කපක්ද තොයිලයක් ද මන්දා සද්දෙට බෙර ගහන්නත් ගත්තේ නැතෑ.
මේ උදේ එකොලහට ?
මොන පයන්නක් ද?

හුටා.....
බෙර ගහන්නෙ කොහෙවත් නෙවෙයි මගෙ පපුව ඇතුලෙ කියහංකො..
ඉස්කෝලෙ යන කාලෙ චිත්‍ර කරන්න ගියෙ නැටිල්ලයි සිංදු කිවිල්ලයි දෙකම බැරි හින්දා.ට්‍රිපක් යද්දි වතුර බෝතලේකින් දොරට ගහලවත් තාලෙ ඇල්ලිල්ල කරන්න බෑ මට.
එහෙව් එකේ කොහොමද හත්වලාමේ මගේ පපුව ඇතුලේ මේ යක්ස බෙරයක් වදින්නෙ?
 මේ හලෝ...දවසම ඔහොම බලා ගෙන ඉන්නද යන්නෙ?
හෑ...මලා...කෝ වදේ දැන් මේකි අතේ තිබ්බ පන්දම?
පන්දම නෑ.ඒත් කාමරේ තාම ගිනි ගන්නවා තද රතු පාටින්.
ඒකි නෝන්ඩියට විරිත්‍තන් මගෙ දිහා බලං ඉන්නෙ පොඩි කාලෙ දෙහිවල ගිහින් පස්ස රතු බැබුන් දිහා මම බලාපු විදිහටමද මන්දා.
මං.මේ.....මේ.....
මේ...මේ....තමයි.ඔච්චරට අවසිහිය ද?
මම බ්‍රහස්පතින්දා ඇහුවෙ රිසර්ච් එක ෆයිනලයිස් කරගන්න හෙල්ප් එකක් දෙනවද කියලා.
දැන් මතක නෑ නේ?
තොල් දෙකත් උල්කරන් ඒ පාර මේකි මාව විත්ති කූඩුවට නග්ගලා නඩු අහනවා.
බ්‍රහස්පතින්දා ලෙක්චර්ස් ඉවර වෙලා එද්දී මේකි මොනවාහරි කිව්වා වගේ නම් මතකයි තමයි.
ඒත් මොනවා ඇහුවද මොනවා කිව්වද කියලා මතක් වෙන්නෙම නෑනෙ
ඒත් යකඩෝ...මම කොහොමද විත්ති කාරයා වෙන්නෙ?
අහ්...ඔව් මට අමතක වුනා...
කොහොමද බෝඩිම හොයා ගත්තෙ?
මම දන්නවා....
හෑ...මේකි සයිඩ් එකෙන් පැපරාසි  ජොබ් එකක් කරනවද මන්දා
මං මේ බෝඩිමේ ඉන්න වග දන්නෙ  කීයෙන් කී දෙනා ද?
එ..එතකොට දොර?
දොර?මොන දොර ?
ඉස්සරහ  දො..දොර..ලොක් කරලනෙ තිබ්බෙ?
ඒ පාර මේකි වහලෙ උළු ටික බිමට පතබෑවෙන්න හයියෙන් කැකිරි පලනවා.
දොර ලොක් කරල තිබ්බනං මං කොහොමද මැට්ටො එන්නෙ?
මේකගෙ නට් ලූස් ද මන්දා?
අනේ මන්දා..කිව්වත් වගේ මගෙ නට්ලූස් ද කොහෙද.එක්කො දොර වහලා තියෙන්න නැතුව ඇති.
ඒ පාර ආයෙත් අහස පොලව ගැට ගහන්න කල්පනාව.මේහ් රිසර්ච් එක කරන්න ගමුද?
මට දවසම ඉන්න බෑ.හවස තව වැඩක් තියෙනවා
පර්මිශන් දෙන්නත් කලින් ඒකි මගෙ මේසෙ අග්ගිස්සෙන් පුටුවකට කඩා වැටුනා.කරේ එල්ලං යන රෙදි මල්ලෙන් පොතක් එලියට ඇදිලා ආවා.
තොල් හෙලවෙන බව මට පේනවා.හැබැයි කිසිම සද්දයක් ඇහෙන්නෙ නෑ.
අම්මප මට මොකක් හරි අසනීපයක් හැදීගෙන වත් එනවද?
පිච්චෙන්න තරමට ඇඟත් රස්නෙයි කියලා තේරුනේ එතකොට.
මල මගුලයි මට උණ ගැනීගෙන එනවද කොහෙද?
ඒත් උණ හැදීගෙන එනවනං අඩු ගානෙ ඇඟ අතපය කකියන්න එපැයි .
මට දැනෙන්නෙ දෙතුන්දෙනෙක්ට ගේම කෝල් කරලා හොම්බට දෙක තුනක් නෙලන්න තරම් කික් එකක් නෙ.
මේකිට රිසර්ච් එකට උදව් කරන්න  වෙන කවුරුත් නැද්ද හැබෑ ට.
නෑ ඉතින් මගේ අකමැත්තක් නෑ.
සමහරවිට ඒකි මගෙන් අහන්න ඇත්තෙ අනිත් උන් වගේ මම ඒකිගෙන් වෙනවෙන දේවල් ඉල්ලන්නෙ නැති වෙයි කියලා හිතිච්ච් නිසා වෙන්නත් ඇති.
නෑ  නෑ.ඒකි ලස්සන නැත්තෙ නෑ.පිට පෙනුමට තියෙන්න ඕනෙ ඔක්කොම ජාති ඒ ඒ ගානට මිම්මට  පිහිටලා තිබ්බා.
ඉතින් එතකොට ඇයි මං ඒකි පස්සෙන් ගියෙ නැත්තෙ?
අහලා නැද්ද නන්දා මාලිනී කියනවා ප්‍රේමය නං රාගයෙන් තොර සඳ එළිය සේ අචින්‍ත්‍යයි කියලා.මගේ හිතේ ආදරේ තිබ්බෙ ආං ඒ විදිහට.
මම කවදහරි ලව් කරන්නෙ ජපන් බෝනික්කෙක් වගේ පෙනුම තියෙන මලක් වගේ අහිංසක කෙල්ලෙක්ට.කවදාවත් කොල්ලෙක් අතින් අල්ලලාවත් නැති කෙල්ලෙක්ට
ඇයි යකෝ මට පයිත්තියංයැ කවුරුත් කඩපු පෙට්ටගංවලට අත තියන්න?
එහෙම කෙල්ලො දෙතුන් දෙනෙක් හම්බුන්නැතුවා නෙවෙයි.ඒත්  මොන මගුලක් ද මන්දා ඒ මගුල් එකක් වත් හරි ගියෙ නෑ
ඒකිගෙ තොල් තාම මොනවද මතුරනවා.
මෙලෝ මගුලක් ඇහෙයියෑ මේ බෙර සද්දෙත් එක්ක??
ආ....යි අම්මෝ
මං උඩ විසි වුනා .
මොකාද යකෝ කකුලට උණු වතුර හැලුවෙ?
හුටා.....
ඒකි දිහා කට බලියං මං තේක හලාගන කියහංකො.
රිසර්ච් එක ට ගංවතුර ....කෙළියා තාප්පෙට.
ඊ ගහක වේගෙන් නැගිටලා ඒකි බෝඩිමෙන් එළියට දුවපි.
ඒකි පස්සෙ දුවන්න බෑ.
දැන් කොහොමද යකුනේ මම රිසර්ච් එක සබ්මිට් කරන්නේ....
ඒකි ගිහින්...
ඒත් ගිහින් නෑ.
බෙර ගැහිල්ල නතර වෙන්නෙත් නෑ....
පන්දම් එලිය වෙනුවට ආයෙ ඉර තීරු බයෙන්  බයෙන් කාමරේට රිංගගෙන.
ඒත්...
මොන රෙද්දක්ද මන්දා....කාමරේ කට්ට කලුවරයි කියහං කො.
අමුම මූසලයි .
ඒ මදිවට මොකක් හරි අඩුයි..මේකි මොනව හරි අතගාගෙන ගිහින්  කියලා මට හොඳටම.ශුවර්
ඒත් මේ කලුවරෙ මොන මගුලක් වත් හොයන්න බෑ.
මම අතපත ගා ගෙන ගිහින් දොර ඇරියා..
යකෝ...මේකි මැරුවත් හිත් වදීද?
මේකි මගෙ හිත අරං ගිහින් කියහංකො.
රිසර්ච් එක යකාට ගිය දෙන්
මං යනවා ඒකි හොයා ගෙන
ගිහින් කියනවා ඒකිට














හිත විතරක් අරන් ගිහින් හරියනවද යකෝ මාවත් අරන් පල හොඳ හිතින්


නික්මන

නාලිනී තේ කෝප්පෙකුත් අරං මේසෙ අග්ගිස්සෙන් වාඩි වුනා.
එහා මේසෙ වාඩි වෙලා හිටියෙත් අඳුරන එක නඩේ අය.ඒත් නාලිනී එතන වාඩි වෙන්න ගියේ නෑ.
තමන් දොරෙන් ඇතුල් වෙද්දි කට්ටිය මූණු ඇද කරගෙන බලලා හිනා වෙච්චි හැටි නාලිනී ඇස් දෙකටම දැක්කා.
මොකටද ඔය කාගෙවත් ආඩම්බර බලන්නෙ.
ඔය ඔක්කොම එයා හින්දා...
එයා මුලින් ම දැකපු දවස නාලිනීට මතක් උනා.කාර් තඩියකින් ඇවිල්ල තඩි පෙට්ටගමක් අරන් උන්දැ බහිද්දි නාලිනීට හිනා ගියේ ඔලොක්කුවට.
ඔලොක්කුවට උන්දැටද නැත්නම් පොඩි ට්‍රන්ක පෙට්ටියේ සබ්බ සකලමනාවම අහුරගන්න පුලුවන්  තමන්ටම ද කියලා නාලිනීට හිතා ගන්න බැරිවුනා.
කොහොමත් ඔය සල්ලිකාර ජේත්තුකාරයන්ගෙ ආටෝප නාලිනීට අරහං
නාලිනී අහස නං එයා නිකම්ම නිකං පොලව නෙවෙයි මරියානා ආගාධය වගේ.එයාට සල්ලි භාගෙ යහමින් තිබුන කෙනෙක්.නාලිනීට තිබුනෙ මාසෙ ගානෙ හම්බෙන සොච්චමක් විතරයි.
එයා කසාදයක් බැඳපු එක්කෙනෙක්. එතකොටනාලිනී, බබා කෙටූ එක්කෙනා එන කං බලං ඉඳලා හති අරිනවා
එයාගෙ ගෙදර ඈයො එයා මෙහෙ ආපු එක ගැන කිසිම කැමැත්තක් නෑ.
නාලිනී...?
නාලිනී ගැන හොයන්න නාලිනීට කවුරුත් ම හිටියෙ නෑ....
ඉතින් හරිනම් පොතේ හැටියට එයාට නාලිනීව ගැලපෙන්නෙම නෑ.
ඒත් අර මල්සරා කියන එකා වැඩ කරන්නෙ  පොතෙන් පිටලු.
ඉතින් කවදා කොයි වෙලාවේ ද කියලා හිතා ගන්න බැරි වුනත් නාලිනීගෙ හිතේ එයා ගැන ලෙන්ගතු කමක් ඇති වෙන්න ගත්තා.
නාලිනී මුලින් හිතුවෙ මේකත් මල්සරා කම්මැලි කමට විදපු හීයක් නැත්තං තවත් ඒක පාර්ශවික ප්‍රේමයක් කියලා.
ඒත් එයාගෙ ඇසුත් සැරෙන් සැරේ නාලිනීට කතා කලාලු
ඉතින්  අන්තිමේ නාලිනී ප්‍රේම කරන්න ගත්තා.
ඇස් වලින් ප්‍රේම කරන්න
ඔහේ වැඩකට ඇති නැති දේවල් ගැන එයා එක්ක කියව කියව ඉන්න
කවුරුත් ළඟ පාතක නැති වෙලාවක හෙමින් සීරුවේ උරපත්තට වාරු වෙන්න
ඔව්.නාලිනී ප්‍රේම කරන්න ගත්තා
ආදරෙයි කැස්සයි හංගන්න අමාරුයි කියනවනෙ
නාලිනීටවත් එයාට වත් නැති රුදාවක් සුපුරුදු පරිදි අනිත් උදවියට තිබුනා.
ඔලොක්කුවට හිනාවිලි, මූණු හැදිලි, එක එක කතන්දර හැදිලි, ඊයෙ උදේ නාලිනීගෙ කකුල්
දෙක අද්දරම තූ නොදකින් කියලා කෙළ ගැහිල්ලකට යනකං ම ඒ අමාරුකං පැටවු ගැහුවා.
ඒ ඔක්කොගෙම කෙළවර නැවතුනේ අද එයාට ඔෆිස් එකට කැඳවපු එකෙන්.
අනේ මන්දා
නාලිනී කල්පනා අස්සේ පැටලිලා පැටලිලා අතරමං වෙද්දි ඔන්න එයා ඇවිල්ලා ළඟින්ම වාඩිත් වෙලා.
"මේං බලහල්ලකො කල්පනාව..කවුරුහරි උස්සං යනකං දන්නෙ නෑ?"
එයාට මේ අවු අස්සෙත් විහිලු
"කල්පනා කරන්න දේවල්ද නැත්තෙ?මොකටද ඔයාට කතා කරල තියෙන්නෙ?"
"කතා කරල තියෙන්නෙද?අපේ සම්බන්ධෙ ගැන කතා කරන්න. ඒක මෙතන නීතිරීති වලට පටහැනියි කියන්නෙ"
එයා කියන්නෙ කිසිම ගානක් නැතුව
"එතකොට?"
"එතකොට ,ඉතින් එක්කො අපි මේක නවත්තන්න ඕනෙලු.නැත්නං අපි දෙන්නගෙන් එක්කෙනෙක් අයින් වෙලා යන්නලු"
"නවත්‍තන්න?.....අයින් වෙන්න?...."
නාලීනිට නං ඒ උත්තර දෙකම උත්තර නෙවෙයි ප්‍රශ්න පත්තර.
"අපි කාටවත් වැරැද්දක් කරල නෑ නාලිනී...ඉතින් අපි මේක නවත්තන්න ඕනෙ නෑ.මම යන්නං මෙහෙන්"
"මොකක් ඔයා යන්න?"
"ඔව්.හැබැයි එක පොරොන්දුවක් පිට.........
.
.
.
.
ඔයත් මාත් එක්ක යන්න එනවනම් විතරයි"
නාලිනී තිගැස්සිලා බැලුවෙ මේ ඔලුව ගිනි ඇරං ඉන්න වෙලේ ඇයි මෙහෙම විකාර කරන්නෙ අහන්න.
ඒත් එයා විහිලු කරන පාටක් නෑ.ඇත්තටම් එයා ඒ අඬගහන්නෙ එයා එක්ක යන්නද?
"ඒක හරියන්නෙ නෑ.මිනිස්සු ඔයාට හිනා වෙයි.එතකොට ඔයාගෙ ගෙදර මිනිස්සු.එයාල කොහොමද රටේ ලෝකෙ අයට මූන දෙන්නෙ?
"නාලිනී...නාලිනී....දැනටත් මිනිස්සු අපිට හිනා වෙන්නෙ නැද්ද?
හිනා වෙච්ච දෙන්...ඒ ඔක්කොම ආදරේ කියන වචනේ තේරුම දන්නැති උදවිය...එහෙම උදවියට අනුකම්පා කරනවා ඇරෙන්න ඒ දේවල් හිතට ගන්න ඕනෙ නෑ....
අපේ ගෙදර උදවියට ලැජ්ජ වෙන දෙයක් නෑ.මේක මගේ ජීවිතේ.මගේ ජීවිතේ ගැන මං ගන්න තීරණවලට ඇයි එයාල හිත කරදර කරගන්නෙ?"
හැමදාම වගේ එයාගෙ අතිපණ්ඩිත කතාවලට නාලිනී ළඟ උත්තර නෑ.
"මොකෝ කියන්නෙ ,යං ද මාත් එක්ක?"
කොහේ යනවද එතනින් එහාට මොකක් කරනවද කියලා හිතා ගන්න බැරි වුනාට නාලිනී ඔලුව වැනුවා.ඔක්කොම වෙන්නේ බඹා කෙටූ හැටියට ලු නෙ.
ඉතින් නාලිනී එයත් එක්ක එතනින් අයින් වෙලා ආවා.කාටවත් කියන්න සාද පවත්වන්න ගියෙ නෑ.බොරු හිතවත්කම් තවදුරටත් ඕන වුනේ නෑ.
ඒ ඇවිදින් දැන් සති දෙකකුත් ගෙවුනා.
"නාලිනී නාලිනී ........"
ඔන්න ඒ පාර එයා බෙරිහන් දෙනවා.
නාලිනී අඩියට දෙකට ඒ දිහාට ගියා.
"ඕං බලන්න කො  පත්තරේ .අපිත් දැන් සෑහෙන ප්‍රසිද්ධ මිනිස්සු"පත්තරේ නාලිනීගෙ ඇඟේ ගහලා එයා පෙරලි පෙරලී හිනාව
නාලිනී පත්තරේ මුල් පිටුවට හැරුණා
"වැඩිහිටි නිවාසයේ නාකි පෙම් යුවළ හඳපානේ පැන ගිහින්"

Saturday, November 17, 2018

තැන්කූ ආයිබෝං

ජපානයේ Ivate ප්‍රදේශයේ හරි අපූරු සිරිතක් තියෙනවලු.
ජපන් ජාතිකයන් කොහොමත් ආචාර කරද්දි හිස නමලා ආචාර කරන බව අපි දන්නවනෙ.Ivateවල ජනතාව එක්තරා පිරිසකට මෙහෙම ආචාර කරන එක සිරිතක් කරගෙන තියෙනවා.
හිතාගන්න පුලුවන්ද ඒ කාටද කියලා?
පාර මාරු වෙද්දි තමන් වෙනුවෙන් වාහන නවත්තන් ඉන්න වාහන හිමියන්ට.නීතියක් නොවුනත් මේක සිරිතක් හැටියට ලොකු කුඩා හැමෝම කරන දෙයක්ලු.Ivateවල පාසල්වලත් හොඳ පුරුද්දක් හැටියට මේක උගන්නවලු.
හදිසියෙන් පාර පනින වෙලාවක තමන් වෙනුවෙන් වාහන නවත්තන කෙනෙක්ට ආචාරයකින් ස්තුති කරන එකේ අරුමයක් නැති වෙන්න පුලුවන්.ඒත් ට්‍රැෆික් ලයිට් එකට නවත්තන් ඉන්න වාහනවලටත් එහෙම ආචාර කරන්න ඕනෙද කියලා කාටහරි හිතෙන්න බැරි නෑ.ඇයි ඉතින් එයාලා අනිවාර්‍යයෙන් නවත්තන්න එපෑ.
ඇයි මේ හදිසියේ ඕක මතක් වුනේ කියලා හිතුනද?
ඇත්තටම අපි මිනිස්සුන්ට ස්තුති කරන්න ඕනෙ ද?
ඔයා ගමනක් යන්නෙ පික්මී එකක හරි ඌබර් එකක හරි එහෙම නැත්නං නිකම්ම ත්‍රීවීලර් එකක හරි වෙන්න පුලුවන්.ගමනාන්තෙට ගියාම ඒ මනුස්සයට ස්තූතියි කියන්න ඕනෙද?
අපි පිනට ගියෙ නෑනෙ.හයර් එකට සල්ලි දුන්නනෙ.හයර් දුවන එක එයාගෙ රස්සාව.ඉතින් මොකටද අමුතුවෙන් ස්තූති කිරිල්ලක්.
ඔයා ගෙදරට බඩු ගන්නෙ සුපර් මාර්කට් එකෙන් වෙන්න පුලුවන් .එහෙම නැත්නම් ඉරිදා පොලෙන් වෙන්නත් පුලුවන්.බඩු මුට්ටු ටික ගත්තට පස්සෙ බිල දාපු ඉලන්දාරියට නැත්නම් බඩු ටික කිරල දීපු හාදයාට ස්තූති කරන්න ඕනෙද?
ඒ මොන එහෙකටද?ඒ අය කරන්නෙ රස්සාවක් නෙ.සල්ලි දීලා බඩුත් අරන් තව ස්තූති කරන්නත් ගියොත් ශුවර් එකටම  අංගොඩෙන් හරි මුල්ලේරියාවෙන් හරි පැනපු එකෙක් කියලා ඒ යකා හිතන්නැතිවෙයි ද?
පාර පනින තැන කහ ඉරේ ඉන්න පොලිස් හාදයා,ඔව් උන්දැ කරන්නෙත් රස්සාව අමුතුවෙන් ස්තූති කිරිල්ලක් ඕනෙ නෑ.පොලිසියෙ එවුන් කොහොමත් හරි ගනන්.මොන කෙහෙල්මල් ස්තූතියක් ද?
එතකොට ඉස්පිරිතාලෙ දොස්‍තර , පිනට බෙහෙත් දෙනවෑ .මොකටද ස්තූති කිරිල්ලක් .ඔන්න චැනල් කරලා ගියාම නම් උන්දැ අපිට තැන්ක් යූ කිව්වට කාරි නෑ.
පෙට්‍රල් ශෙඩ් එකේ ප්‍රෙට්‍රල් ගහන  කොලුවා, මොකෝ උන්දැගෙ ගෙදරින් ගෙනා පෙට්‍රල්‍ යැ ගහන්නෙ.
ඩිනර් අවුට් ගියාම සර්ස් කරපු වේටර්, එයත් ඉතින්  අපිට උයලා කන්න දුන්නෙ නෑනෙ ,මොනවට ස්තූති කරන්න ද?
බැංකුවෙ කවුන්ටරේ ඉන්න අංගනාව එතකොට?
කැඳ බීලද මන්දා උදේ ට?පැයක් විතර අපි පෝලිමේ බකං නිලාගෙන.අනික මගෙ පොතෙන් සල්ලි ගන්න ගිහින් මං ස්තූති කරන්න?
විකාර නැත්නං හොඳයි.
හැබෑට මොනවට ස්තූති කරන්නද, නේද?
ඇත්තටම මූණෙ පොඩි හිනාවකුත් එක්ක "ස්තූතියි"කියන වචනෙ කිව්වම ඔයාට මොනව හරි වියදම් වෙනවද?
නෑ නේද?
එතකොට ඒ වචනෙ අනිත් පැත්තෙ හිටගත්ත හාදයාට?
ඔව් ඔය වචනෙ කිසිම මූල්‍යමය වටිනාකමක් නෑ.
ඔය වචනෙට බඩගින්න නැති වෙන්නෙ නෑ.
ඒත් කවදාහරි ඔය වචනේ අනිත් පැත්තෙන් ඔයා හිටගෙන හිටපු දවසක් මතක් කරගෙන බලන්න.හිතට පොඩිහරි සතුටක් ඉහිලක් ඔය වචනෙන් දැනුනෙ නැද්ද කියලා හිතලා බලන්න.
සමහර විට සුපර්මාකට් එකේ බිල දාන හාදයා මුලු දවසම කකුල් දෙක උඩ හිටගෙන වෙන්න පුලුවන්.
හන්දියෙ දවසම හිටගෙන ඉන්න පොලිස් රාලහාමිගෙ හිත තියෙන්නෙ අසනීප වෙලා ඉස්පිරිතාලෙ නවත්තපු පොඩි එකා ළඟ වෙන්න පුලුවන්.
ඉස්පිරිතාලෙ දොස්‍තර ට ඔයා උදේ හිටන් තේකක් තියා වතුර උගුරක්වත් නැතුව බලන එකසිය එක් වෙනි ලෙඩා වෙන්න පුලුවන් .
කුණු එකතු කරන්න ආපු ට්‍රැක්ටරේ හාදයා රස්සාවෙ පලවෙනි දවස වෙච්චි අදම රස්සාව තිත්ත වෙලා ඉන්න මනුස්සයෙක් වෙන්න පුලුවන්.
බැංකු කවුන්ටරේ කාන්තාව සහලෝල උණ තිබ්බත් නිවාඩු නැති හින්දා වැඩට ඇව්ත් බැරිමරගාතේ ඇඬෙන්න ඔන්න මෙන්න ඉන්නවා වෙන්නත් බැරි නෑ.
ඉස්කෝලෙ යද්දි හැමදාම ඉස්කෝලෙ ඉවර වුනාම අපි ඔක්කොම එක සද්දෙට Thank you Teacher කිව්වා.
ඇත්තටම දවස තිස්සේ අපේ නසරානි වැඩ ඉවසං හිටපු ඒ මනුස්සයාට දවසට එක සැරයක් ස්තුති කලාම නං මදි ඇති.ඒත් දවස තිස්සේ අපෙන් වෙච්ච කරදර එක තප්පරේකට  හරි අමතක  කරන්න ඒ වචන ටිකට පුලුවන් වෙන්නත් ඇති.
රස්සාව උනත් නැතත්, නීතිය උනත් නැතත් අපි වෙනුවෙන් පොඩි දෙයක් හරි කරපු  මනුස්සයෙක්ට තරාතිරම නොබලා වචනෙන් නැත්තං හිනාවකින් හරි ස්තූති කරන්න ඇත්තටම අපිට බැරි වෙයි ද?
බොක්කෙන්ම  ඒ දේ කරපු හාදයෙක්ට සතුටු හිතෙයි.
බැරිමරගාතේ දමල ගහල යන්න හිටපු හාදයෙක්‍ ට  ඒකෙන් නවතින්න හිතෙයි.
ඕනෑවට එපාවට  ඔයාට එපා වෙන විදියට කරන්නන් වාලේ  සර්විස් එක කරපු හාදයෙක් ට එතකොට?පුදුම හිතෙයි.හර්ද සාක්කියක් කියලා දෙයක් තියනවනම් ලැජ්ජත් හිතෙයි.
හුඟ වෙලාවට ඊළඟ කස්ටමර්ට ඔයාට වඩා හොඳ සර්විස් එකක් දෙන්නත් හිතෙයි.
ඔය ඔක්කොටම  අතින් වියදං නෑ ආයිබෝං

Thursday, November 15, 2018

කන්ටින් කැතා

ඉස්කෝලෙදී ඉස්සිසෙල්ලාම ටීචර්ගෙන් පනිශ්මන්ට් හම්බෙන්නේ එකේ පන්තියට ගිය ගමන් ය.අලුත් යාලුවෙකුත් එක්ක රුපියල් දහයකුත් අරං කැන්ටිමට ගිය ගමන ආපහු එද්දී ඉන්ටර්වල් ඉවර වෙලා සෑහෙන වෙලා ගිහින් වීම හේතුවයි.

ඉස්කෝලේ කැන්ටිං දෙකක් තිබ්බාට කඩචෝරු කන්නට  අපිට ගෙදරින් සල්ලි ලැබුනේ කලාතුරකින් ය.මොකද්දෝ හේතුවකට කෑම පෙට්ටියේ කෑම වලට වඩා හිත යන්නේම කැන්ටිමේ වීදුරු බෝතල්වල පාට පාට සීනිබෝලවලට ය.
ඉස්කෝලේ මොන්ටිසෝරිය අද්දර අරලියා ගහෙන් අහුලාගත් මල්වලට සීනිබෝල හුවමාරු කරනවාදැයි අහන්න පන්තියේ කොලු ගැටයෙක් යාප්පුවෙන් කැමති කරවා ගත්තේත් ඔය දවස්වලය .වැඩේ හරි ගියේ නැත.

පහු වෙද්දී ඉස්කොලේ කැන්ටිමටත් වඩා හිතට අල්ලලා ගියේ අම්මලාගේ ඉස්කොලේ කැන්ටිම ය.අපේ ඉස්කෝලේ නිවාඩු දවසට ,ඉස්කෝලේ ඇරුනාම ඉඳහිට මට නවාතැන් ලැබුනේ අම්මාගේ ඉස්කෝලේ ය.ඉන්ටර්වල් එක කිට්ටු වෙද්දී එන වඩේ රෝල්ස් සුවඳ ට තාමත් හිත කිති කැවීගෙන යනවා ය.අපේ ඉස්කෝලේ වාගේ නොවේ ය.කොල්ලන් කෙල්ලන් එක පොරේට හුන්ඩුවක් සයිස් කැන්ටිමේ උඩට අරින ජනේලෙනුත් දොරෙනුත් එබීගෙන කෑම හටනේ ය.මාත් අත අරින්නේ නැත.අදටත් ඒ වඩේ තරම් රහ වඩේ එකක් වෙන කොහේදීවත් කන්නට ලැබුනේ නැත.

කැම්පස් යනකල් ම කැන්ටිම කෑම අරගෙන මාරු වී යන තැනක් විය.වැටීගෙන ලැගගෙන පැල් බැඳගෙන ගෙදර වාගේ හිටි එකම කැන්ටිම ෆැකල්ටි කැන්ටිම ය.

තට්ටු හතකට හදන බවට පොරොන්දු ලැබී තිබුණත් අපි යන කාලේ එය දැල් ගැහූ ශීට් හෙවිල්ලූ කිසිම ප්‍රසන්න පෙනුමක් නැති දැක්කාට ආදරේ නොහිතෙන තැනක් ම ය.ෆැකල්ටි ගිය  මුල් දවසේ වටපිටාව පෙන්නන්න එක්කරං යද්දී ඔය දැල් අස්සෙන් ඔරවාගෙන හිටි ජ්‍යේශ්ඨ මූණත්තහඩු තාමත් මතක ය.

මුල් කාලේ කැන්ටින් ගියාට සින්නන්ට තිබුණ බය නිසා වැඩි දෙයක් බඩට ගියේ නැත.කොහොමටත් මුදලාලිගේ කෑම වැඩිය කන්නට මෙලෝ මනුස්සයෙක්ට බැරි ය.ඒ තරමට රහ ය. ඒ වුනාට බෙදාගත්තු කෑම එක ඉතුරුකරන්නට අපිට තහනම් ය.මුදලාලිගේ කෑම ඉවිල්ලට පින් සිදු වෙන්නට එක දවසක් මගේ පිඟානේ පොල් සම්බෝලේ පොල් කටු කෑල්ලකුත් තියෙනවාය. ඕක කියන්නට යනවාට වඩා ලේසි නිසා මම කලේ පොල් කටු කෑල්ල කටේ තියාගෙන කැන්ටිමෙන් එළියන එනකං ගල් ගිලලා සේ හිටි එක ය.

ඉතුරු නැති වුනාම කැන්ටිමේ මුදලාලි කරන්නෙ ගාන ලියා පොඩි තුන්ඩු කෑලි දෙන එකය.මුදලාලිලා මාරු වුනාම අපට වෙන්නේ තුන්ඩු පුච්චා නලලේ අලු ගා ගන්නට ය.ඒ මදිවාට ගෙම්බා කැන්ටිම ,වූස් කැන්ටිම ආදී කැම්පස් එකේ හැම කැන්ටිමක් ම ඔය තුන්ඩු සෙල්ලම කරන අතර කොයි තුන්ඩුව කොයි කැන්ටිමට අයිති එකක්දැයි හෙවිල්ල ට වඩා නිකා ඉන්න එක ඇඟට ගුණ ය.

පේරාදෙනියේ ඉස්පිරිතාලෙ කැන්ටිම කලේ  ඇටෙන්ඩන් කෙනෙක් ය.එච්චෝ කාලේ හදිසියකට කන්නනම් ඒ කැන්ටිමෙන් අමාරුය.ඒ මැඩම් ගාව හැමදාම මාරු නැත.දොලහ පහු වුන ගමන් කෑමත් නැත.කන්න නැතත් ඔහේ විනාඩි පහක් ගිලා බහින පුටුවක වාඩි වී ඉන්නට ඒ කැන්ටිමට රිංගන්න ලැබුනේ එහෙමත් වෙලාවක ය.

කරවනැල්ලේ  අපේ කැන්ටිම කරන්නට ගත්තේ මම ගිය මුල් කාලේ ය.අටානූවක් ලෙඩ තියෙන සුනිල් අංකලුත් ඇන්ටිත් ගෙදර මිනිස්සු තරමටම හිතවත් කෙරුවේ ඔය කැන්ටිම ය.ඇන්ටිගේ පැටිස් කොච්චර රසදැයි කියනවානම් ඒක බෞතීස්ම වුනේ ගංජා පැටිස් හැටියට ය.ගෙදර අල්ලපු වත්තේ තිබුනත් මම වැඩි හරියක් කෑවෙ බිව්වේ ඇන්ටිගේ කෑම ය.මම නැතුව පාලු දැනෙන එකම කැන්ටිම කරවනැල්ලේ කැන්ටිම වෙන්න ඕනෑ ය.

අලුත් තැන කැන්ටිම ෆුල් පොශ් ය.ආමන්ත්‍රණය ට මැඩම් එක්කහු වෙන වාර ගාන සෑහෙන ය.අලි පේර ඉල්ලූ විට ඇවකාඩෝත් සැන්විච් පාන් ඉල්ලූ විට ටෝස්ටඩ් බ්‍රෙඩ්නුත් ලැබේ ය.ඒත් කරවනැල්ලේ ලෙන්ගතු කම  ඒ පොශ් කෑම එකකවත් ඩිංගක්වත් තැවරී නැතිය.

ඉතින් මගේ හිත මේ දවස්වල බඩගින්නේ මය.

මිස්ටර් වර්ල්ඩ් බලු නයිදේ

අපේ ගෙදර වැඩිම සැලකිල්ලක් තියෙන්නේ බල්ලා ට ය.ගෙදර හයරාකියේ අවරෝහණ පිලිවෙලට ඉන්නේ බල්ලා කොල්ලා හා කෙල්ල ය.
දඩාර ගෝල්ඩන් රෙට්‍රීවර් තඩියෙක් වූ ඒකා ගේ උප්පැන්නේ සඳහන් නම බ්‍රවුනි වුනත් ඌට ගැලපෙන ම නම "කිරි බංඩා "ය.

ඌ හිච්චි සන්දියේ මම ගෙදර නොහිටි නිසා මට වැඩි ආපදාවක් නොවුනත් කිරි ගොට්ටේ සිට කලිසම් කකුල් දක්වා උගේ හිතගත් ඕනෑම දෙයක් සෙල්ලමට ගනිමින් තනි හුරතලේට හැදීම නිසාවෙන් අපේ ගෙදර ඇත්තන් විඳි දුක් ගැහැට අනන්තය අප්‍රමාණ ය.

දැන් මේකා ගජ ඉලන්දාරියා ය.සයිස් එකෙන් අලි පැටියෙක්ට වඩා පොඩ්ඩිත්තක් පොඩි ය.හැබැයි ඔළිඳ ඇටයක තරමේවත් මොලයක්  තියෙනවාදැයි මට  නම් සැක ය.

කිරිබන්ඩේ නොහොත් බ්‍රවුනිගේ වාසභවන සිමෙන්තියෙන් බැඳ කපරාරු කරන ලද්දක් ය.නළ ජලය තෙකලා විදුලිය සහිතය.ගෙයි මට නැතත් වටේටම කැරකෙන පංකාවක් බලු කූඩුවට අයිති ය.මේකා නැති දවසක මේක කුලියට දෙන්නට පුලුවන් වීම මේ බලු තඩියා නිසා අපිට වුන එකම වාසිය වෙන්න ඇති ය.

පාරක් නොගහා හුරතලේට හැදුවාම කොල්ලාත් බල්ලාත් ඕනෑවට වැඩි ය.ඉතින් මේ බලු තඩියාත් හැදෙන්නේ උට ඕනෑ විදිහටම ය.උගෙන් පරිස්සම් වී අපි ගෙට රිංගාගෙන ඉන්නවා මිසක් අපිව කාගෙන්වත් පරිස්සම් කිරිල්ලක්නම් මේ බලු රාලගේ ඇජෙන්ඩාවේ කොහේවත් නැත.ඉඳහිට ගෙට රිංගා මල්ලිගේ කලිසම් පැහැර ගෙන යාම, තලගොයන් පූසන් පස්සෙන් ඇඹීම   වැනි අපත වැඩ මිසක්කා කමකට ඇති එක වැඩක් මේ බලු තඩියාගේ බලු ජීවිතේටම සිදු වී නැත

ළඟකදී ඉඳන් අංකල් කෙනෙක් ඇවිදින් කිරිබන්ඩේට හැඩට ඇවිදින්න පුරුදු කරන බව ආරංචිය.කොල්ලෙක් නිසා බියුටි ක්වීන් තරඟෙකට යවන්නට වෙන්නත් බෑ ය. ඒ මොකද බැලින්නං අමුතුම කතාවකි.

බලු ඉලන්දාරින්ට මනමාලියන් සෙවීම මිනිස් ඉලන්දාරියෙක්ට මනමාලියෙක් සොයන්නා සේම භාරදූර කර්තව්‍යයක් ය.කකුල් හතරකුත් වැනෙන නැට්ටකුත් තියෙන බුරන එකෙක් වීම මට බල්ලෙක් හඳුනාගන්නට හොඳටෝම ඇති ය.ඒත් එහෙම බැහැල්ලු ය.බල්ලා අති සුපිරිසිදු නිකැලැල් නොකිලිටි බල්ලෙක් බවට තත්ව සහතිකයක් ඕනෑ කරනවාය.ඒකට වෙනම බලු පෙලපත් රෙජිස්ටර් කරන බලු සංගමයක් ද තියෙනවාලු ය.අපේ බලු ඉලන්දාරියාගේ මවුතුමී ඔය කියන සංගමේ රෙජිස්ටර් වී නෑ ලු ය.ඉදින් මේ මුකුත් නොදැන මෙලොව එලිය දැක අපිට වින කරමින් ගේ පුරා කෙළ තලි හලමින්  ආරා ආ මේ බලු තඩියාටත් රෙජිස්ටර් වෙන්න බෑ ලු ය.ඉතින් බලු ළමිස්සියන් ඌ දිහා බලන්නෙත් නෑ ලු ය.

අකලංක ප්‍රේමය හදේ බුර බුරා දැල්වෙන නිසාවෙන් බත් නොකා වටිනා කියන බඩු බාහිරාදිය පමණක් කමින් කඳුලු බොන බලුතඩියා දැක්කාම අපේ මෑනියන්දෑට වාවන්නේ නෑලු ය.ඉතින් අගෝස්තුවේ බලු ප්‍රදර්ශනේකට ගිහින් බල්ලාගේ නැණවත් ගුණවත් සිල්වත් සුපින්වත් භාවය ඔප්පු කර බල්ලා රෙජිස්ටර් කර කසාදයක් රෙජිස්ටර් කරන්නට අම්මා තීරණය කර ඇත.

ටේබල් මැනර්ස් තියා වෝකිං මැනර්ස් වත් නොදන්නා මේ බලු පරුවතය එතනට ගෙනිහින් ආම්බාම් කරන්නට පෙර පුහුණුවක් හැටියටලුය ආමි අංකල් කෙනෙක් කිරිබන්ඩේ එක්ක ඔට්ටු වෙන්නේ

අම්මා කියන හැටියට නම් කිරිබන්ඩේ ගේ ගමන දැන් සෑහෙන සංවර ය.විනයානුකූලය.
ඒත් ඊයෙ වැස්සට ගෙට ගත් වෙලේ නම් මම දැක්කේ සුපුරුදු ලෙසම පටියේ අග එල්ලුනු අම්මාට ඉගිල්ලෙන්නට උගන්නමින් ගේ පුරා විදුලි වේගයෙන් සංචාරය කරන කිරිබන්ඩේ ය.

බලු ප්‍රදර්ශනේට  තිස්තුන් කෝටියක් දෙයියන්ගේම පිහිටයි.ආරස්සාවයි

කුවේනී.vs විජය


ලාංකීය වංශ කතාවේ හැටියට අපි පැවතෙන්නේ විජය රජුගේ දරු පරපුරෙන් ය.
විජය ලංකාවට හරි නෑකමක් ඇත්තෙක් කියා මට හිතෙන්නේ ම නැත.කුමාර ඌෂ්ණය ගසා ලාට රටේ වැසියන්ට සිදු කරන තාඩන පීඩන රට වැසියා ඉවසීමේ අන්තයටම තල්ලු කළ පසු ය පිය රජ්ජුරුවන්නාන්න්සේ නැවක දමා විජයත් පිරිවරත් රටින් පිටුවහල් කරන්නේ.

රටට ඇණයක් වුණු විජය අන්තිමට කැරකී පාත් වෙන්නේ කුවේණිගේ කරුමයට තම්බපණ්ණියට ය.ඉතිහාසය ලියෙව්වේත් කියෙව්වේත් පිරිමි පරාණ හින්දාමද මන්දා හැමදේකටම වග කියන්නට ඕනෑ කුවේණිය මය.කුවේනි උන් තැනට විජය පත බෑවුනා නොව කුවේනි මුහුදු රළ දෙබෑ කරගෙන ගොස් වෙන අහක යන්න ගිය විජය අමාරුවේ දැම්මා වාගේ මය ඉතිහාසය වැනෙන්නේ

කොහොමත් ආදරේ කරන්න ගිය තැන ගෑනු හිත් රැවටෙනවා වැඩි ය.නොදන්නා දීපංකරේකින් මතු වූ අමුතු කුමාරයාට ආලය කරන්නට ගිය කුවේණියට වෙන්නේත් ඒකමය.තම නෑ සියන් සියල්ලන්ම පාවා දී රටේ රජකමත් විජයට ලබා දෙන්නේ ඒ හින්දා ය.අහිංසක විජය නම් මේ මොන මල කරදරයක් දැයි රජකම එපාම කියන්නට ඇත.

විජය කුවේනිට ලං වෙන්නේ රටේ රජකම ගන්නට වෙන්න බැරි නැත.මනුස්සයෙකුට එහෙම ආසාවක් ඇති වුනාට වැරැද්දක් කියන්නත් බැරිය.ඒත් රජ කම ලැබුණාට පස්සෙන් පහුවත් ඒ මෝඩ බවලතාට ඇත්ත ඇති හැටියෙන් කියන්නට තිබුණාය.
ඒත් විජයට කුවේනි එපා වෙන්නේ ළමයි දෙන්නෙකුත් ඉපදුනාට පස්සෙන් පහු ය.ඒත් කරන්න ට දෙයක් නැත.උන්දෑ රටේ රජ්ජුරුවන්නාන්න්සේ ය.කුවේණිට සොරි ය.

අර ඉතිහාස පොත් වල හැටියට නම් කුවේණි විජයට සාප කරනවා ය.ඒත් මට හිතෙනා  හැටියට නං තමන්ට කොයි තරං රිදුනත්  ආදරේ කරන එකාගේ හිත රිද්දන්නට බැරි දුරුවල ගතියක් බවලතුන්ට උරුම වෙන්නේ උපතේදී ම ද කොහේ ද ය.

කුවේනිගේ සාපය කෙසේ වෙතත් කළ කම් පලදුන් නිසාදෝ විජයගේ අලුත් නෝනට දරුවෙක් උන්නේ ද නැත.අන්තිමේදී මල්ලිගේ ළමයා ඉන්දියාවෙන් ඉම්පෝට් කර රජ කරවද්දී කුවේනිගේ ළමයින්ට වෙන්නේ වැදි පරපුරේ මුලකුරු ලියන්නට ය.

ඉතිහාසය මොන විකාර කිව්වත්   කුවේනිගේ ආදරය මෝඩය.අහිංසකය.ආත්මාර්ථකාමී ය.සුන්දර ය.

අදත් ගෑනු හිත්වල ආදරේ  බාග වෙලාවට ඒ වාගේම වෙන්නැති ය.

දිරි දුන් නුඹේ
ආලේ නිසා
බොහො විපතක් වෙනා
නොවඩින් සදා
මතු බවයෙ මා
හමුවෙන තුරා
ආලේ පසෙක ලා
හිඳිමි මෙමා...........

කුවේණියේ සිංදුවට මම නොසෑහෙන කැමති වුනත් මතු භවයේ තියා කොයි භවයක වුනත් විජය අහිංසක පෙම්වතෙක් වෙයි කියා හිතන්න නං මට අමාරුය.

කෝච්චියෙං යං

මාතර ඉන්නා කාලේ කොළඹ මාමලා බලන්නට යන ගමන් ඉඳහිට රේල්ලුවට වැටෙන වෙලාවල් තිබුනේ ය.ඒ ගමන් වලට  මං සෑහෙන කැමතිය.හෝටල් දදා කාරෙකේ පත බෑවී යනවාට වඩා හුළං වැදි වැදී කෙලවරක් නැති නිල් ම නිල් පාට මූද දිහා බලා ගෙන යකඩ යකා ගේ ඩකඩ ඩකස් තාලෙට සීට් එක පුරා විසි වෙවී කොළඹ යන එක හරිම සනීප ය.

ඒත් කෝච්ච්යට නගින්න බහින්න මම පරාණ බීත බය ය.
අර පඩි පෙල අස්සෙන් යටට වැටෙයිදැයි පණ බයේ ගැහිගැහීය මම තාත්තා ගේ අත කිටිකිටියේ අල්ලාගෙන නගින්නේ.
ඊටත් වඩා බය කෝච්චිය පිඹගෙන යද්දී පෙට්ටියකින් පෙට්ටියකට මාරු වෙන එකය.ඒ නිසා නැග්ගාට පස්සෙන් පහු බහිනකන්ම මලාට සීට් එකෙන් හෙලවෙන්නේ මම නං නෙවෙයි ය.

පේරාදෙනි ගියාට පස්සේ ඉස්සිසෙල්ලාම ගෙදර යන්න යන්නේ කෝච්චියෙන්‍ ය.ජීවිතේට තනියෙන් කෝච්චියක ගිහින් නැති මට බයක් නැත්තේ ගාල්ල මාතර නඩයක්ම යන්නට ඉන්න නිසා ය.හත්වලාමේ හවස ලෙක්චර් එකට ගිහින් බලද්දී මා දමා උන් ගිහින් ය.ලෙක්චර් එකත් පැත්තක දමා අතිජාත රූමී රමෝනාවත් ඇදගෙන පේරාදෙනියෙන් කෝච්චියට නැග ගන්නෙර් කොහොම හරි ගෙදර යන්නට ය.ගම්පහෙන් රමෝ බැහැ ගත්තාට පස්සේ  මම කොහේ යන්නටදැයි අපි දෙන්නාටම නිනව්වක් නැත.
කෝච්ච්යේ සිටි බවලතියක ගේ උපදෙස් පිට යාන්තං කොටුවේ ස්ටේසමෙන් එලියට බැහැගෙන ස්ටෑන්ඩ් එක පැත්තට ගොස් මාතර බස් එහෙක එල්ලී මට ගෙදරට සේන්දු වෙන්නට පුලුවන් විය.

බස් එකේ යන්න එන්නට පුලුවන් වුනත් එතැන් හිට කැම්පස් ගමනා ගමනයට මගේ හිත ගත්තුම වාහනේ අඟුරු කකා වතුර බිබී දුවපු ඔය යකඩ යකා ය.

පේරාදෙනියේ තුසිතෙ හෝල් එක ගාවින් තුසිත දිවිය ලෝකය හරියටම යනකන් පඩි නැගන් ගිය බෝඩිමේ හිටි කාලේ අපේ කොලු රෑන උදේට මාව කෝච්චියට ගෙනියන්නට ඇවිදින් මහපාන්දර වට පිටාවේ  ඔක්කොම ගෙවල්වල ඇත්තන් ගේ නිදිමත නැත්තටම නැති කලෝ ය. පස්සෙන් පහු විජේ වර්දනේ ඉන්න කාලේ මර බයේ තනියම ඉතිපිසෝ කියකියා සරසව් උයන ස්ටේසමට බඩ ගාද්දී ඒ රෑන මතක් වුන වාර ගාන අනන්තය.

කෝච්චිය නවත්තන තුරු හිඳ පිම්මේ පැනගොස් සීට් අල්ලන්නට කප් ගැසුවේ කැම්පස් කාලේ ය.අනිට් එවුන් නගිද්දී මම සීට් එකක් පුරා දිග ඇදී අහවර ය.හුඟක් වෙලාවට සීට් නැතිනම් අපි රොත්තට නවාතැන් ලැබුනේ කැන්ටිමේ  හරි පෙට්ටි දෙකක් අතරේ හෝ දොර ගාව පොඩි හුණ්ඩු ඉඩේ ය.
දොරේ වාඩි වී ආප්ප ආච්චිගේ මැදට ලුණු මිරිස් තලියක් දමා කැන්ද කොලේ ඔතා දුන් ආප්ප කකා මං ගෙදර ආ හැටි තාත්තා දන්නවා නං ජීවිතේට කෝච්චියක් දිහා බැලිල්ලත් තහනං වෙනවා ය.

ගෙදර ඉඳලා කැම්පස් එද්දී තත්වේ වෙනස් ය.අපායට ගියත් ඇපොයින්මන්ට් දාලා කලින් යන තාත්තා පාන්දර මාතර ස්ටේසමේ නවතා තියෙන කෝච්චියටත් මාව පැයකටත් කලින් කුදලාන යන්නේ ය.ලයිට්වත් දමා නැති කෝච්චි පෙට්ටියේ මදුරුවන් තල තලා අපි සීට් අල්ලාගෙන ඉන්නා බව දන්නා නිසා අනිත් ලලනාවන් සම්ප්‍රාප්ත වෙන්නේ කෝච්චිය අද්දන්නට යටි ගිරියෙන් හූ තියද්දී ය.

මාතරින් යන කෝච්චියෙන් කොටුවේදී නුවර යන කෝච්චියට මාරු වෙන්නට ඕනෑ ය.මාතර කෝච්චිය පරක්කු වුනෝතින් නුවර කෝච්චියට නගින්නට වෙන්නේ අද්දද්දී මය.
සීයා කෙනෙක් දොර හරහා බතල ගෝනියක් හිර කරගත් නිසා තඩි බඩු මලුත් එල්ලා ගත් කෙල්ලන් සෑහෙන දුරක් පාපුවරුවේ එල්ලී ගිය කතා වස්තුවත් ගෙවල්වලට ආරංචි වුනේ නැතිය.

නගිනා ස්ටේසමත් බහිනා ස්ටේසමත් ඇරුනාම අපේ කෙල්ලන් රොත්තට වැදගත්ම ස්ටේසම වුනේ කඩි ගමුව ය.ස්ටේසන් මාස්ටර් බඩ තඩි නාකි රැවුලෙක් නොවී ඉලන්දාරි පාටක් ගෑවුන හාදයෙක් වීම ඊට හේතුවය.මෙඩිකල් ෆැකල්ටි කෙල්ලන් රොත්තක් තමන්ට ප්‍රේම කළ බව ඒ අහිංසකයා හොඳ වෙලාවට අපි අවුට් වෙනකනුත් දැන ගත්තේ නැත.

කැම්පස් අහවර වී කෝච්චි රෑන  සී සී කඩ විසුරුනාට පස්සෙත් ඉඳ හිට කෝච්චියේ නොගියා නොවේ.ඒත් ඒ සීට් බුක් කරගෙන දෙවනි පන්තියේ ය.ඉස්සර වාගේ කට කමිසිරියාවක් නැතිව ඕපාදූප හලමින් නොව කසාය බිවු ගොලුවෙක් මෙන් ගෙවුනු ඒ කෝච්චි ගමන් එච්චර ම මතකයේ ඇලෙන්නේ නැත.

ආයෙමත් කෝච්චියෙන් යන්න වෙන්නේ අවුරුදු ගණනාවකට පස්සේ ය.මහරගම  ස්ටේසමෙන්  කොටුවට ටිකට් අරගෙන මග බලන් හිටියේ නුපුරුදු යකඩ යකෙක් එන තුරු ය.

යකාත් අමුතුය.නඩේ ඊටත් අමුතු ය.හැමදාම යන එන මිතුරු පොදි හැම තැනම ය.ඒ අස්සේ මේ පිට සක්වල ජීවියාට අඩු ඇන්ටෙනා දෙකක් විතර ය.
යකඩ යකා පැද්දෙන්නේ නැති වෙලාවටත් පැද්දිලා ඇඟ උඩම නවතින බූවලු පරාණ නොසෑහෙන්න ය.කකුල් උඩින් යන උල් සපත්තු ය.කට පුරා යන කෙස් වනාන්තර ය.කොටුවට යනකන් ම ඔහොම්ම මය.

කොටුවෙන් බැස ඊළඟ කෝච්චියට ටිකට් ගැනිල්ල ඊට අමාරුය.හති දමාගෙන මම ටිකට් අරං දුවන් එද්දී මීරිගම කෝච්චිය අද්දනවාය.
අද්දන කෝච්චිවලට නැගිල්ල මට සිම්පල් බව මීරිගම කෝච්චියේ ගාඩ් උන්නැහේ දන්නේ නැත.මම කාජල් වගේ වුනාට දිල්වාලේ දුල්හනියා ලේ ජායෙන්ගේ එකේ අන්තිම සීන් එකේ වගේ දුවගෙන එන මට අත දෙන්නට කෝච්චියේ සාරුක් අයියෙක් හිටියේත් නැත.
ඉතින් හති අරිමින් කොටුවේ තව පැය භාගයක් ලැග ඊළඟ කෝච්චියෙන් සැනසෙන්නට මට සිදු වෙනවා ය.

දැන් කෝච්චි ගමනට සතියක් වය සය.මහරගමින් ගම්පහට කෙලින්ම ටිකට් ගන්නට පුලුවන් බව දැන් අපි දන්නවා ය.කෝච්චි ටයිම් ටේබල් දෙවරක් චක්කරේ ගානට හුරු ය.

මීරිගම කෝච්චියේ කට ඇරං නිදා ගන්නා කාජල්ගේ ශේප්කට් ඇති ලලනාවක් දැක්කොත් අඳුනාගන්නට දැන් ඔබටත් පුලුවන් වෙන්නට ඕනෑ ය.

ඩකඩ ඩකං......