Thursday, November 15, 2018

මිස්ටර් වර්ල්ඩ් බලු නයිදේ

අපේ ගෙදර වැඩිම සැලකිල්ලක් තියෙන්නේ බල්ලා ට ය.ගෙදර හයරාකියේ අවරෝහණ පිලිවෙලට ඉන්නේ බල්ලා කොල්ලා හා කෙල්ල ය.
දඩාර ගෝල්ඩන් රෙට්‍රීවර් තඩියෙක් වූ ඒකා ගේ උප්පැන්නේ සඳහන් නම බ්‍රවුනි වුනත් ඌට ගැලපෙන ම නම "කිරි බංඩා "ය.

ඌ හිච්චි සන්දියේ මම ගෙදර නොහිටි නිසා මට වැඩි ආපදාවක් නොවුනත් කිරි ගොට්ටේ සිට කලිසම් කකුල් දක්වා උගේ හිතගත් ඕනෑම දෙයක් සෙල්ලමට ගනිමින් තනි හුරතලේට හැදීම නිසාවෙන් අපේ ගෙදර ඇත්තන් විඳි දුක් ගැහැට අනන්තය අප්‍රමාණ ය.

දැන් මේකා ගජ ඉලන්දාරියා ය.සයිස් එකෙන් අලි පැටියෙක්ට වඩා පොඩ්ඩිත්තක් පොඩි ය.හැබැයි ඔළිඳ ඇටයක තරමේවත් මොලයක්  තියෙනවාදැයි මට  නම් සැක ය.

කිරිබන්ඩේ නොහොත් බ්‍රවුනිගේ වාසභවන සිමෙන්තියෙන් බැඳ කපරාරු කරන ලද්දක් ය.නළ ජලය තෙකලා විදුලිය සහිතය.ගෙයි මට නැතත් වටේටම කැරකෙන පංකාවක් බලු කූඩුවට අයිති ය.මේකා නැති දවසක මේක කුලියට දෙන්නට පුලුවන් වීම මේ බලු තඩියා නිසා අපිට වුන එකම වාසිය වෙන්න ඇති ය.

පාරක් නොගහා හුරතලේට හැදුවාම කොල්ලාත් බල්ලාත් ඕනෑවට වැඩි ය.ඉතින් මේ බලු තඩියාත් හැදෙන්නේ උට ඕනෑ විදිහටම ය.උගෙන් පරිස්සම් වී අපි ගෙට රිංගාගෙන ඉන්නවා මිසක් අපිව කාගෙන්වත් පරිස්සම් කිරිල්ලක්නම් මේ බලු රාලගේ ඇජෙන්ඩාවේ කොහේවත් නැත.ඉඳහිට ගෙට රිංගා මල්ලිගේ කලිසම් පැහැර ගෙන යාම, තලගොයන් පූසන් පස්සෙන් ඇඹීම   වැනි අපත වැඩ මිසක්කා කමකට ඇති එක වැඩක් මේ බලු තඩියාගේ බලු ජීවිතේටම සිදු වී නැත

ළඟකදී ඉඳන් අංකල් කෙනෙක් ඇවිදින් කිරිබන්ඩේට හැඩට ඇවිදින්න පුරුදු කරන බව ආරංචිය.කොල්ලෙක් නිසා බියුටි ක්වීන් තරඟෙකට යවන්නට වෙන්නත් බෑ ය. ඒ මොකද බැලින්නං අමුතුම කතාවකි.

බලු ඉලන්දාරින්ට මනමාලියන් සෙවීම මිනිස් ඉලන්දාරියෙක්ට මනමාලියෙක් සොයන්නා සේම භාරදූර කර්තව්‍යයක් ය.කකුල් හතරකුත් වැනෙන නැට්ටකුත් තියෙන බුරන එකෙක් වීම මට බල්ලෙක් හඳුනාගන්නට හොඳටෝම ඇති ය.ඒත් එහෙම බැහැල්ලු ය.බල්ලා අති සුපිරිසිදු නිකැලැල් නොකිලිටි බල්ලෙක් බවට තත්ව සහතිකයක් ඕනෑ කරනවාය.ඒකට වෙනම බලු පෙලපත් රෙජිස්ටර් කරන බලු සංගමයක් ද තියෙනවාලු ය.අපේ බලු ඉලන්දාරියාගේ මවුතුමී ඔය කියන සංගමේ රෙජිස්ටර් වී නෑ ලු ය.ඉදින් මේ මුකුත් නොදැන මෙලොව එලිය දැක අපිට වින කරමින් ගේ පුරා කෙළ තලි හලමින්  ආරා ආ මේ බලු තඩියාටත් රෙජිස්ටර් වෙන්න බෑ ලු ය.ඉතින් බලු ළමිස්සියන් ඌ දිහා බලන්නෙත් නෑ ලු ය.

අකලංක ප්‍රේමය හදේ බුර බුරා දැල්වෙන නිසාවෙන් බත් නොකා වටිනා කියන බඩු බාහිරාදිය පමණක් කමින් කඳුලු බොන බලුතඩියා දැක්කාම අපේ මෑනියන්දෑට වාවන්නේ නෑලු ය.ඉතින් අගෝස්තුවේ බලු ප්‍රදර්ශනේකට ගිහින් බල්ලාගේ නැණවත් ගුණවත් සිල්වත් සුපින්වත් භාවය ඔප්පු කර බල්ලා රෙජිස්ටර් කර කසාදයක් රෙජිස්ටර් කරන්නට අම්මා තීරණය කර ඇත.

ටේබල් මැනර්ස් තියා වෝකිං මැනර්ස් වත් නොදන්නා මේ බලු පරුවතය එතනට ගෙනිහින් ආම්බාම් කරන්නට පෙර පුහුණුවක් හැටියටලුය ආමි අංකල් කෙනෙක් කිරිබන්ඩේ එක්ක ඔට්ටු වෙන්නේ

අම්මා කියන හැටියට නම් කිරිබන්ඩේ ගේ ගමන දැන් සෑහෙන සංවර ය.විනයානුකූලය.
ඒත් ඊයෙ වැස්සට ගෙට ගත් වෙලේ නම් මම දැක්කේ සුපුරුදු ලෙසම පටියේ අග එල්ලුනු අම්මාට ඉගිල්ලෙන්නට උගන්නමින් ගේ පුරා විදුලි වේගයෙන් සංචාරය කරන කිරිබන්ඩේ ය.

බලු ප්‍රදර්ශනේට  තිස්තුන් කෝටියක් දෙයියන්ගේම පිහිටයි.ආරස්සාවයි

කුවේනී.vs විජය


ලාංකීය වංශ කතාවේ හැටියට අපි පැවතෙන්නේ විජය රජුගේ දරු පරපුරෙන් ය.
විජය ලංකාවට හරි නෑකමක් ඇත්තෙක් කියා මට හිතෙන්නේ ම නැත.කුමාර ඌෂ්ණය ගසා ලාට රටේ වැසියන්ට සිදු කරන තාඩන පීඩන රට වැසියා ඉවසීමේ අන්තයටම තල්ලු කළ පසු ය පිය රජ්ජුරුවන්නාන්න්සේ නැවක දමා විජයත් පිරිවරත් රටින් පිටුවහල් කරන්නේ.

රටට ඇණයක් වුණු විජය අන්තිමට කැරකී පාත් වෙන්නේ කුවේණිගේ කරුමයට තම්බපණ්ණියට ය.ඉතිහාසය ලියෙව්වේත් කියෙව්වේත් පිරිමි පරාණ හින්දාමද මන්දා හැමදේකටම වග කියන්නට ඕනෑ කුවේණිය මය.කුවේනි උන් තැනට විජය පත බෑවුනා නොව කුවේනි මුහුදු රළ දෙබෑ කරගෙන ගොස් වෙන අහක යන්න ගිය විජය අමාරුවේ දැම්මා වාගේ මය ඉතිහාසය වැනෙන්නේ

කොහොමත් ආදරේ කරන්න ගිය තැන ගෑනු හිත් රැවටෙනවා වැඩි ය.නොදන්නා දීපංකරේකින් මතු වූ අමුතු කුමාරයාට ආලය කරන්නට ගිය කුවේණියට වෙන්නේත් ඒකමය.තම නෑ සියන් සියල්ලන්ම පාවා දී රටේ රජකමත් විජයට ලබා දෙන්නේ ඒ හින්දා ය.අහිංසක විජය නම් මේ මොන මල කරදරයක් දැයි රජකම එපාම කියන්නට ඇත.

විජය කුවේනිට ලං වෙන්නේ රටේ රජකම ගන්නට වෙන්න බැරි නැත.මනුස්සයෙකුට එහෙම ආසාවක් ඇති වුනාට වැරැද්දක් කියන්නත් බැරිය.ඒත් රජ කම ලැබුණාට පස්සෙන් පහුවත් ඒ මෝඩ බවලතාට ඇත්ත ඇති හැටියෙන් කියන්නට තිබුණාය.
ඒත් විජයට කුවේනි එපා වෙන්නේ ළමයි දෙන්නෙකුත් ඉපදුනාට පස්සෙන් පහු ය.ඒත් කරන්න ට දෙයක් නැත.උන්දෑ රටේ රජ්ජුරුවන්නාන්න්සේ ය.කුවේණිට සොරි ය.

අර ඉතිහාස පොත් වල හැටියට නම් කුවේණි විජයට සාප කරනවා ය.ඒත් මට හිතෙනා  හැටියට නං තමන්ට කොයි තරං රිදුනත්  ආදරේ කරන එකාගේ හිත රිද්දන්නට බැරි දුරුවල ගතියක් බවලතුන්ට උරුම වෙන්නේ උපතේදී ම ද කොහේ ද ය.

කුවේනිගේ සාපය කෙසේ වෙතත් කළ කම් පලදුන් නිසාදෝ විජයගේ අලුත් නෝනට දරුවෙක් උන්නේ ද නැත.අන්තිමේදී මල්ලිගේ ළමයා ඉන්දියාවෙන් ඉම්පෝට් කර රජ කරවද්දී කුවේනිගේ ළමයින්ට වෙන්නේ වැදි පරපුරේ මුලකුරු ලියන්නට ය.

ඉතිහාසය මොන විකාර කිව්වත්   කුවේනිගේ ආදරය මෝඩය.අහිංසකය.ආත්මාර්ථකාමී ය.සුන්දර ය.

අදත් ගෑනු හිත්වල ආදරේ  බාග වෙලාවට ඒ වාගේම වෙන්නැති ය.

දිරි දුන් නුඹේ
ආලේ නිසා
බොහො විපතක් වෙනා
නොවඩින් සදා
මතු බවයෙ මා
හමුවෙන තුරා
ආලේ පසෙක ලා
හිඳිමි මෙමා...........

කුවේණියේ සිංදුවට මම නොසෑහෙන කැමති වුනත් මතු භවයේ තියා කොයි භවයක වුනත් විජය අහිංසක පෙම්වතෙක් වෙයි කියා හිතන්න නං මට අමාරුය.

කෝච්චියෙං යං

මාතර ඉන්නා කාලේ කොළඹ මාමලා බලන්නට යන ගමන් ඉඳහිට රේල්ලුවට වැටෙන වෙලාවල් තිබුනේ ය.ඒ ගමන් වලට  මං සෑහෙන කැමතිය.හෝටල් දදා කාරෙකේ පත බෑවී යනවාට වඩා හුළං වැදි වැදී කෙලවරක් නැති නිල් ම නිල් පාට මූද දිහා බලා ගෙන යකඩ යකා ගේ ඩකඩ ඩකස් තාලෙට සීට් එක පුරා විසි වෙවී කොළඹ යන එක හරිම සනීප ය.

ඒත් කෝච්ච්යට නගින්න බහින්න මම පරාණ බීත බය ය.
අර පඩි පෙල අස්සෙන් යටට වැටෙයිදැයි පණ බයේ ගැහිගැහීය මම තාත්තා ගේ අත කිටිකිටියේ අල්ලාගෙන නගින්නේ.
ඊටත් වඩා බය කෝච්චිය පිඹගෙන යද්දී පෙට්ටියකින් පෙට්ටියකට මාරු වෙන එකය.ඒ නිසා නැග්ගාට පස්සෙන් පහු බහිනකන්ම මලාට සීට් එකෙන් හෙලවෙන්නේ මම නං නෙවෙයි ය.

පේරාදෙනි ගියාට පස්සේ ඉස්සිසෙල්ලාම ගෙදර යන්න යන්නේ කෝච්චියෙන්‍ ය.ජීවිතේට තනියෙන් කෝච්චියක ගිහින් නැති මට බයක් නැත්තේ ගාල්ල මාතර නඩයක්ම යන්නට ඉන්න නිසා ය.හත්වලාමේ හවස ලෙක්චර් එකට ගිහින් බලද්දී මා දමා උන් ගිහින් ය.ලෙක්චර් එකත් පැත්තක දමා අතිජාත රූමී රමෝනාවත් ඇදගෙන පේරාදෙනියෙන් කෝච්චියට නැග ගන්නෙර් කොහොම හරි ගෙදර යන්නට ය.ගම්පහෙන් රමෝ බැහැ ගත්තාට පස්සේ  මම කොහේ යන්නටදැයි අපි දෙන්නාටම නිනව්වක් නැත.
කෝච්ච්යේ සිටි බවලතියක ගේ උපදෙස් පිට යාන්තං කොටුවේ ස්ටේසමෙන් එලියට බැහැගෙන ස්ටෑන්ඩ් එක පැත්තට ගොස් මාතර බස් එහෙක එල්ලී මට ගෙදරට සේන්දු වෙන්නට පුලුවන් විය.

බස් එකේ යන්න එන්නට පුලුවන් වුනත් එතැන් හිට කැම්පස් ගමනා ගමනයට මගේ හිත ගත්තුම වාහනේ අඟුරු කකා වතුර බිබී දුවපු ඔය යකඩ යකා ය.

පේරාදෙනියේ තුසිතෙ හෝල් එක ගාවින් තුසිත දිවිය ලෝකය හරියටම යනකන් පඩි නැගන් ගිය බෝඩිමේ හිටි කාලේ අපේ කොලු රෑන උදේට මාව කෝච්චියට ගෙනියන්නට ඇවිදින් මහපාන්දර වට පිටාවේ  ඔක්කොම ගෙවල්වල ඇත්තන් ගේ නිදිමත නැත්තටම නැති කලෝ ය. පස්සෙන් පහු විජේ වර්දනේ ඉන්න කාලේ මර බයේ තනියම ඉතිපිසෝ කියකියා සරසව් උයන ස්ටේසමට බඩ ගාද්දී ඒ රෑන මතක් වුන වාර ගාන අනන්තය.

කෝච්චිය නවත්තන තුරු හිඳ පිම්මේ පැනගොස් සීට් අල්ලන්නට කප් ගැසුවේ කැම්පස් කාලේ ය.අනිට් එවුන් නගිද්දී මම සීට් එකක් පුරා දිග ඇදී අහවර ය.හුඟක් වෙලාවට සීට් නැතිනම් අපි රොත්තට නවාතැන් ලැබුනේ කැන්ටිමේ  හරි පෙට්ටි දෙකක් අතරේ හෝ දොර ගාව පොඩි හුණ්ඩු ඉඩේ ය.
දොරේ වාඩි වී ආප්ප ආච්චිගේ මැදට ලුණු මිරිස් තලියක් දමා කැන්ද කොලේ ඔතා දුන් ආප්ප කකා මං ගෙදර ආ හැටි තාත්තා දන්නවා නං ජීවිතේට කෝච්චියක් දිහා බැලිල්ලත් තහනං වෙනවා ය.

ගෙදර ඉඳලා කැම්පස් එද්දී තත්වේ වෙනස් ය.අපායට ගියත් ඇපොයින්මන්ට් දාලා කලින් යන තාත්තා පාන්දර මාතර ස්ටේසමේ නවතා තියෙන කෝච්චියටත් මාව පැයකටත් කලින් කුදලාන යන්නේ ය.ලයිට්වත් දමා නැති කෝච්චි පෙට්ටියේ මදුරුවන් තල තලා අපි සීට් අල්ලාගෙන ඉන්නා බව දන්නා නිසා අනිත් ලලනාවන් සම්ප්‍රාප්ත වෙන්නේ කෝච්චිය අද්දන්නට යටි ගිරියෙන් හූ තියද්දී ය.

මාතරින් යන කෝච්චියෙන් කොටුවේදී නුවර යන කෝච්චියට මාරු වෙන්නට ඕනෑ ය.මාතර කෝච්චිය පරක්කු වුනෝතින් නුවර කෝච්චියට නගින්නට වෙන්නේ අද්දද්දී මය.
සීයා කෙනෙක් දොර හරහා බතල ගෝනියක් හිර කරගත් නිසා තඩි බඩු මලුත් එල්ලා ගත් කෙල්ලන් සෑහෙන දුරක් පාපුවරුවේ එල්ලී ගිය කතා වස්තුවත් ගෙවල්වලට ආරංචි වුනේ නැතිය.

නගිනා ස්ටේසමත් බහිනා ස්ටේසමත් ඇරුනාම අපේ කෙල්ලන් රොත්තට වැදගත්ම ස්ටේසම වුනේ කඩි ගමුව ය.ස්ටේසන් මාස්ටර් බඩ තඩි නාකි රැවුලෙක් නොවී ඉලන්දාරි පාටක් ගෑවුන හාදයෙක් වීම ඊට හේතුවය.මෙඩිකල් ෆැකල්ටි කෙල්ලන් රොත්තක් තමන්ට ප්‍රේම කළ බව ඒ අහිංසකයා හොඳ වෙලාවට අපි අවුට් වෙනකනුත් දැන ගත්තේ නැත.

කැම්පස් අහවර වී කෝච්චි රෑන  සී සී කඩ විසුරුනාට පස්සෙත් ඉඳ හිට කෝච්චියේ නොගියා නොවේ.ඒත් ඒ සීට් බුක් කරගෙන දෙවනි පන්තියේ ය.ඉස්සර වාගේ කට කමිසිරියාවක් නැතිව ඕපාදූප හලමින් නොව කසාය බිවු ගොලුවෙක් මෙන් ගෙවුනු ඒ කෝච්චි ගමන් එච්චර ම මතකයේ ඇලෙන්නේ නැත.

ආයෙමත් කෝච්චියෙන් යන්න වෙන්නේ අවුරුදු ගණනාවකට පස්සේ ය.මහරගම  ස්ටේසමෙන්  කොටුවට ටිකට් අරගෙන මග බලන් හිටියේ නුපුරුදු යකඩ යකෙක් එන තුරු ය.

යකාත් අමුතුය.නඩේ ඊටත් අමුතු ය.හැමදාම යන එන මිතුරු පොදි හැම තැනම ය.ඒ අස්සේ මේ පිට සක්වල ජීවියාට අඩු ඇන්ටෙනා දෙකක් විතර ය.
යකඩ යකා පැද්දෙන්නේ නැති වෙලාවටත් පැද්දිලා ඇඟ උඩම නවතින බූවලු පරාණ නොසෑහෙන්න ය.කකුල් උඩින් යන උල් සපත්තු ය.කට පුරා යන කෙස් වනාන්තර ය.කොටුවට යනකන් ම ඔහොම්ම මය.

කොටුවෙන් බැස ඊළඟ කෝච්චියට ටිකට් ගැනිල්ල ඊට අමාරුය.හති දමාගෙන මම ටිකට් අරං දුවන් එද්දී මීරිගම කෝච්චිය අද්දනවාය.
අද්දන කෝච්චිවලට නැගිල්ල මට සිම්පල් බව මීරිගම කෝච්චියේ ගාඩ් උන්නැහේ දන්නේ නැත.මම කාජල් වගේ වුනාට දිල්වාලේ දුල්හනියා ලේ ජායෙන්ගේ එකේ අන්තිම සීන් එකේ වගේ දුවගෙන එන මට අත දෙන්නට කෝච්චියේ සාරුක් අයියෙක් හිටියේත් නැත.
ඉතින් හති අරිමින් කොටුවේ තව පැය භාගයක් ලැග ඊළඟ කෝච්චියෙන් සැනසෙන්නට මට සිදු වෙනවා ය.

දැන් කෝච්චි ගමනට සතියක් වය සය.මහරගමින් ගම්පහට කෙලින්ම ටිකට් ගන්නට පුලුවන් බව දැන් අපි දන්නවා ය.කෝච්චි ටයිම් ටේබල් දෙවරක් චක්කරේ ගානට හුරු ය.

මීරිගම කෝච්චියේ කට ඇරං නිදා ගන්නා කාජල්ගේ ශේප්කට් ඇති ලලනාවක් දැක්කොත් අඳුනාගන්නට දැන් ඔබටත් පුලුවන් වෙන්නට ඕනෑ ය.

ඩකඩ ඩකං......

ගැට නොගැහුන හිත්

අම්මා තරම්ම බට්ටීත් වැස්සට ආදරේ ය.වැස්සක් වැහැගෙන එත්ම  "look its raining "
කියා ගෙන ඇබිති කුඩේකුත් ඉහලා ගෙන දුවගෙන ඇවිත් වැස්සට පනින්නීය.

මඩකරියෙක් සේම වතුර වලවල් මඩ වලවල්වලට හරවන බට්ටී මට මතක් කරවන්නේ ගෙදර ඉන්නා කාලයේ වැස්සක් වැටෙනා පරක්කුවෙන් මිදුලට පැනගෙන තෙත බරියන් වෙන තුරු වැස්සේ නටන හැටි ය.දැනුත් එහෙම කරන්නට හිතෙන වෙලාවල් නැත්තේ නෑය.ඒත් එහෙම කලෝතින් අනිවාර්‍යයෙන් ම අල්ලපු ගෙදර මිනිස්සු  මා කෙරරෙහි පතළ කරුණාවෙන් අංගොඩ ඉස්පිරිතාලෙට කෝල් එකක් දෙන බව සහතික ය.

පොඩි කාලේ ජීවිතේ හොඳම කාලය කියන්නේ නිකං නොවේ ය.පොඩි හිත් ගැට ගහන්නට සීමා මායිම් නැති ගාන ය.හිතෙන හිතෙන දේ හිතෙන හිතෙන වෙලාවල කරන්නට පොඩි පරාණ වලට අයිති වෙන අසීමාන්තික නිදහස ගැන ඇත්තටම ඉරිසියා හිතෙනවා ය.හිත ඉල්ලන ඕනෑම දෙයක් ඉල්ලන්නට පොඩි පරාණ පසු බට වෙන්නේ නැත.යාප්පුවෙන් ඉල්ලා, නහයෙන් අඬා  බැරිනම් බිම පෙරලී හෝ හිත ඉල්ලන දේ ඉල්ලාගෙන සතුටු වෙන්නට පොඩි හිත් උපන් හපන්නුය.

ඒත් එහෙම ඉන්නට ලැබෙන්නේ බොහෝම ටික කාලයක් ය.ගෙදර දොරේ වටපිටාවෙන් නීති රීති දැල් එලන්නට ගන්නේ ඇහි පිය හෙලන පරක්කුවෙන් ය.එහෙ බලා මෙහෙ බලද්දී ඔහේ පියෑඹූ හිත වටේට වැටවල් හත අටක් ම බැඳිලා ය.රටේ ලෝකේ ඇත්තන් බොහෝ දෙනෙක් විසින් හරි හැටියට දකිනා අච්චුවක් ඇතුලේ මිස එතනින් පිටට පනින්නට එතනට එහා හිතට ඉඩක් නැත.

මං වගේ එවුන්ට නම් ඒ අච්චුව ඇත්තම් හිර කූඩුවක් ය.අච්චුවෙන් පිටට අඩියක් තිබ්බෝතින් අච්චුවේ යන ඇත්තන් එක පොදියට විස්සෝප වෙනවා ය.දෝස්මුර අවනඩු  අටෝරාසියක් ය.එහෙමත් නැත්තං  තමන්ගේ හිත ඉගිල්ලෙද්දී වට පිටාවේ ඉන්න හිත් රිදෙන්නට තියන ඉඩ කඩ බොහෝම ය.වෙන හිතක් රිද්දා හම්බෙන නිදහස විඳින්නට හිත දෙන්නේද නැත.
ඉතින් හිත ඉගිල්ලෙන්නට කොච්චර හීන මැව්වත් බහුතරයක් අකමැත්තෙන් ඔහේ යන්නං වාලේ අච්චුවේම ජීවිත රෝදය කරකවනවා ය.

බොහෝම සුළු පිරිසක් අච්චුවට පයින් ගසා හිතට දැනෙන විදිහට ජීව්තේ විඳින්න පුරුදු වෙනවා ය.තමන්ගේ හිතට ඕනෑ දේ මිසක් වෙන මෙලෝ ඉටිගෙඩියක් ගැන උන් හිතන්නේ නැත.එක් අතකට මේ පරාණ පට්ට ආත්මාර්ථකාමී කියා හිතෙන්නත් පුළුවන උන් දිහා වැඩි හරියක්  දික්වෙන්නේ වපරැස් වුනත් උන්ට ඒවා වගේ වගක් නැති ය.

ඕනෑ දවසක ඕනෑ වැස්සක නටන්නට උන් දෙවරක් හිතන්නේ නැත.

සාරි කතා 1

ලබන සතියේ ඉඳන් මාස හයක් ගම්පහ ය.
ඉස්සිසෙල්ලාම යන දවසේ  ලංකාවේ සම්මතේට  කරටිය නවා සාරියක් පටලවා ගෙන යන්නට හිතට ගත් සැනින් අපේ උන්දෑ තනියට එන්නට කියා සඳුදා නිවාඩුවකුත් දැම්මේ සාරියත් මාත් ගම්පහ යන මඟ කොහේ පටලැවෙයි දැයි නොදන්නා නිසා ය.

මාස ගණනාවක් කොළඹින් කකා ලෙක්චර්ස් වල නිදි කිරා වැටිල්ලේ ආනිසංස හැටියට සාරි හැට්ටය කිට්ටු වෙන්න බෑම කියනවාය.

ඒ අස්සේ අම්මා  ජංගමයා හරහා ඇඟට ගොඩ වී හැමදාම සාරි ඇන්දේ නැත්නම් තත්වෙට හොඳ නැති බව පෙන්නා දෙනවා ය.ආත්තම්මා සිහි කිරීමෙන් පලක් නැති නිසා ජංගමයා විසන්ධි කර දහයට ගැනීමෙන් සෑහීමට පත් වෙන්නට සිදු වුනා ය.

සාරිය පිළි වෙලක් ඇති ඇඳුමක් ය කියන්නේ මොන හේතුවකට දැයි මට නං අදටත් හිතා ගන්නට බැරිය.

කොච්චර කිව්වත් හැට්ටෙ මහන ඇන්ටි හැට්ටෙ මහන්නේ පුලුවන් තරං අවම රෙදි ප්‍රමාණයක් පාවිච්චි කරලාය.පිටත් පපුවත් දෙකෙන්ම වැඩි හරියක් එලියේ ය.බෙල්ල මුලටම පියවෙන්න හැට්ටෙ මහන්න පුලුවන් උනත් ඇඳන් ඉන්න නං විදුලි කංපාවකුත් ඒකට ම හයි කරගන්න ඕනෑය.

මං වගේ දාංගලේ අඩු ඇත්තියන් දිග හුස්මක් පිට කර හැට්ටය හැකි වෙර යොදා මූට්ටු කර ගත් පසු අඩියෙන් අඩියට කටු ගසන්නට ඕනෑය.නැත්තං එහෙට මෙහෙඅ හැරෙන කොට  ඔව්වා නොදැනීම ඇරිලා ජනතාවගේ ඇස් නිලංකාර වෙනවාය.

සාරි මහන්නේ එහා මෙහා පේන රෙදිවලින්ම නිසා සාරියට වඩා වැදගත් යට සායක් ඇඳිල්ලය.අර වාගේම හුස්ම තද කර යට සාය අඳින්නට ඕනෑ කොහොමටවත් ගැලවෙන්නේ නැති බවට සුවර් විදිහටය.හුඟක් වෙලාවට වැඩි පරිස්සම නිසා හවසට ගෙදර ආවාමත් ඔය ගැටේ ලිහන්නට අමාරුය.

සාරි රෙද්දේ තවත් වැදගත් අංගයක් වෙන්නේ බණ්ඩක්කා මෙන් ලිස්සා යන ගතිය ය.ඉතින් සායට අල්ලමින් සාරිය අඳිද්දී ආයෙමත් අඟලෙන් අඟලට කටු ගැසීම නුවණට හුරු වන්නේ මය.

රටේ සම්මතේට අනුව සාරියත් හැට්ටයත් අතරේ චූට්ටි හෝ පරතරයක් ඇඟ පේන්නටම ඕනෑය.ඇතැම් ලලනාවන්ට ඔය ඉඩ හැට්ටේ උසටම ගන්නටත් ඕනෑය.ඒ කොහොම වෙතත් ඒ ඉඩ නැත්තං ඒක සාරියක් නෙවෙයි ලුය.

ඊළඟට පොට ඇඳිල්ලය.පොට කරකවාගෙන අර ඇඟ තීරුව වහගන්නට ෆුල් ටයි කලත් මේ සම්මජ්ජතියට ඒකත් කරන්න අමාරුය.

තත්වේ කෙසේ වෙතත් ඔය ආකාරයෙන් කටු ලොරි බාගයක් ගසා එතූ සාරිය පොදු ප්‍රවාහනේක වැඩට යනතුරු පරිස්සං කරගැනිල්ලත් වැඩ ඉවර වෙලා ගෙදර එනතුරු පරිස්සං කරගැනිල්ලත් ලේසි පාසු සෙල්ලමක් නං නෙවේ ය.

මම වනිතා කටයුතු ඇමති වුන දාට හැමදාම සාරි අඳින ඇත්තියන්ට  වෙනමම දිරි දීමනා කටු මල්ලක් දෙන්නට කටයුතු සම්පාදනය කරනවා ය.ඕ යෑස්.

Friday, November 9, 2018

බට්ටිට උණ එපා

බට්ටිට අසනීප වෙනවාට අම්මා කැමතිම නැත .එක හේතුවක් නං රෝස බෙහෙත් බොන්නට  බට්ටි දක්වන බලවත් විරෝධතාවය ය.බට්ටි පොඩිත්තං කාලේ පැන්ඩෝල් බිංදු තිබුණා ය.ඒකත් පොවාගන්නේ හරිම අමාරුවෙන් අම්මාගේ ඇඟිල්ලක් කටට ගහලාය.හොඳ වෙලාවට ඒ කාලේ බට්ටිට දත් තිබ්බේ නැත.

බට්ටිගේත් අම්මාගේත් නරක වෙලාවට පැනඩෝල් බිංදු වෙලඳ පොලෙන් අතුරුදහන් වෙනවා ය.ඉතින් උණ ගැනුනාම පැනඩෝල් පැනිය හෙවත් රෝස බෙහෙත් බොන්නට වෙනවාය.එකසිය ගානට උණ තිබ්බත් රෝස බෙහෙත් මතක් කළා ම බට්ටි දුවන්නේ සුසන්තිකාත් පහු කරගෙන ය.අම්මා ඉඳිද්දී  අමාරුවෙන් රෝස් බෙහෙත් අනුමත  වෙන  බට්ටීඅම්මා වැඩට ගිය වෙලාවට   සීයා එක්ක බෙහෙත්  බොන්නේ කොහොමදැයි හිතලාම අම්මාට ප්‍රෙශර් පෙති බොන්න වෙනවාලු ය.

බෙහෙත් බොනවාටත් වඩා බට්ටි අකමැති වැඩේ නර්ස් ඇන්ටිලා කටු වලින් ඇන ලේ ගන්නවාට ය.ලේ ගන්නවාටත් වඩා අම්මාත් නර්ස් ඇන්ටිලා තුන් හතර දෙනෙකුත් එකතුවෙලා බට්ටිව දඩු අඩුවේ ගහන්නා මෙන් බදලා අල්ලාගන්නා එකට ය.ඉතින් බට්ටී ඉන්දියාවට ඇහෙන්නම මර හඬ තලනවා ය.ලේ ගන්නා සාප්පුව වටේ ගෙවල් වන මිනිස්සු ලමා ආරස්සන අධිකාරියට දිගට හරහට කෝල් ගන්නවා ය.

ඉතින් අම්මා දොස්‍තර වුනත් බට්ටිට උණ ගැනුනාම ලේ ගැනිල්ල  කල් යනවා ය.තාම එක දවසයිනෙ ..තාම දවස් දෙකයි නෙ...හෙට අඩු වෙයි කියා හිතමින් අම්මා හිත රවට්ටාගන්නවා ය.අම්මා ටම හරියන සීයා අද එච්චර උණ නෑ.හවසට ලේ ගන්න හොඳ නෑ .ත්‍රීවීලර් වල ගියාම ලෙඩ වැඩි වෙනවා ආදී විශේෂඥ වෛද්‍ය උපදෙස් ලබා දෙමින් කල්දැමිල්ලට උල් පන්දම් දෙනවා ය.

ඔහොම ඉඳලා ඉඳලා බැරිම තැන අම්මාත් බට්ටීත් ලේ ගන්න යනවා ය.බට්ටී හිතාගෙන යන්නේ අම්මාට සනීප නැති නිසා ලේ ගන්ට යන බවය .බට්ටි යන්නේ අම්මාට උදව්ව්ට ය.
අම්මා බය නිසා ඉස්සෙල්ලා බට්ටිගේ ලේ අරං පෙන්නමු කියා නර්ස් ඇන්ටි බට්ටි අන්දන්නට ට්‍රයි කරනවා ය.ඒත් ලෝකේ පෙරලෙන්නට අඬන්නට අමතක කරන්නේ බට්ටි නම් නෙවේය.අඬන්නේ කවුදැයි බලන්න වට පිටාවේ අය දුවන් එද්දි බට්ටිගේ කඳුලු වේලිලාත් අහවර ය.

ආවේ අම්මාගේ ලේ ගන්ට ය.දැන් අම්මාගේ වාරේ ය.අම්මාට දඟලන්නට නොදී හයියෙන් බදා ගන්නා බට්ටී නර්ස් ඇන්ටිට කියා සිටින්නේ
"Now its amma's Turn" ය.

ඉතින් නර්ස් ඇන්ටිගේ සාදර සමාදර අනුග්‍රහයෙන්  අපි දෙන්නාගේම අත්වල පැලැස්තර ය.

ප.ලි: එතැන් සිට ප්ලාස්ටර් පෙලහර ය.ත්‍රීවීලර් මාමා, සුපර්මාලට් එකේ සිකුරිටි මාමා ඇතුලු සියලු දෙනාට අතේ පැලැස්තරය පෙන්නා නර්ස් ඇන්ටිලා තමාට කටු ගසා කල හදිය ගැන බට්ටිගේ පැමිනිලි ය.දින ගාණක් එහෙම ය.අන්තිම වෙද්දී කටු ගැසු අතත් අමතක වෙලා ය.රිදෙන්නේ වැරදි අතක් ය.

බට්ටිට උණ ගැනෙන එක තරම් අම්මා අකමැති දෙයක් මේ ලෝකේ වෙන ඇත්තේම නැති ය.

Monday, November 5, 2018

හීනෙන් පේන හැබැහින් හීන

හුඟාරියක් හීන පේන්නේ ඇහැ පියවුනාම ය.පියැවුනු ඇහි පියන් යට ඇඳෙන හීන හුඟ වෙලාවට ඇහැ ඇරෙන ඇසිල්ලෙන් ම අතුරුදහන් වෙලා ය.මොකක් නමුත් අමුත්තක් හිත උඩින් පාවෙනවා දැනුනත් ඒ හීන හරි හැටියට මතක පොතට එකතු වෙන්නේම නැත.

ඉඳ හිටලා ඇහැ ඇරුණාට පස්සෙන් පහුත් හිතේ එල්ලීගන්නා හීනද නැතුවා නොවේ ය.ඉන් සමහරක් නින්ද මැද්දෙන් හිත ඇහැරවන්නේ ගම් හතකට ඇහෙන්නට බෙරිහන් දීගෙන සරුවාංගයෙන්ම වතුර ගලන්නා සේ දාඩිය දාන ගානට බය හිතන විඳිහට ය.සමහරක් එව්වාට බය හිතෙන්නේ නැතත් ඒවා පියවි සිහියෙන් ඉඳිද්දී කවදාකවත් විස්සාස කරන්නට බැරි විදිහේ විකාරරූපීය.ඒත් හීනේ ඒ ඔක්කොම මාර රියලිස්ටික් ය.
මක් නිසාද යත් එව්වා හීන ය.

ඇහැ නොපියවී පේනා හීනත් එම ට ය.පොඩි කාලේ පොඩි හිතටත් හීන ලෝකේ වාගේම බාධා වැට කඩොලු නෑ ය.

ඉතින් කුමාරිකාවන් වෙලා දේදුනු දිගේ ගිහින් තරු මල් කඩන කෙලි  හීන ය.
ඩයිනෝසරයන් පිටේ යන්නට ,මූදු හතෙන් එහා ලෝක දිනන්නට, මූදුමංකොල්ලකාරයන් එක්කලා සටන් වදින්නට දුවන කොලු හීන ය.

ලොකු වුනාම දොස්තරලා ඉංජිනේරුවන් වෙනුවට ට්‍රක් ඩ්‍රයිවර් කෙනෙක් ,නයිනටවන්නෙක් වෙන්නට නැට්ටුක්කාරියක්,මන්තරකාරියක් සාස්තරකාරියක් වෙන්නට දකින හීන ය.

ඒත් ඒ හුඟක් හීන ජීවිත දිගේ හමාගෙන යන හුළං රොදවල්වල ගහගෙන යන්නේ උන්ටත් නොදැනීම ය.ඒ වෙනුවට වෙන වෙන උදවියගේ හීන හොරෙන් හොරෙන්ම ඇවිදින් හිත් අස්සට රිංගා ගන්නේ කාටවත් නොදැනෙන්න මය.

ඉතින් නැටුක්කාරියක් වෙන්නට තිබුන හීනය ගුරුවරියක් වෙන්නට හැරුණු දිනේ ඈට හරියටම නිච්චි නැත.අකවුන්ටන්ට් හීනේ මිසක සත්තුවත්තක අයිතිකාරයෙක් වෙන්නට හිතේ හීනයක් තිබුනු බවක් ඔහුට මතක් වෙන්නේම නැත.සීනීබෝල හීන දැන් හද්දා බරැති හීනවලට හැරිලා ඔලු ගෙඩි උඩ පැටවිලා අහවර ය.

ගැටවර අවදියට  තවත් අලුතෙන් එකතු වෙන හීන ය.ලෝකේම මල් යායක් වෙන ,රෝස පාටින් අහසත් පොළවත් පින්තාරු වෙන උන් දෙන්නා වෙනුවෙන්ම ඇඳෙන හීන බුබුළුවල ජෝඩු ජෝඩු හිරවෙන කාලේ ය.හීන හැබෑ කරගන්නට ඕනෑම කට්ටක් කන්නට හිත තල්ලු වෙන කා ලේ ය.
හිඟා කකා කොළපතක් අරන් ලුණුයි බතුයි කන්නත් ඔට්ටු හීන ය.ඈත කඳු ගැටයක් උඩ හදන ගෙයි ජනෙල් රෙද්දට ගන්නට සාරිය ඉරන්නට හිත හදාගන්නා හීන ය .
ඒත් ඒ හීන බොහොමයකට වෙන්නේ නිදි හීනවලට ම කොටු වෙන්න ය.රෝස පාට ගැටවර හීනවලට පිපෙන්නට ඇත්ත ලෝකේ ඉඩකඩක් වෙන්වෙන්නේ එහෙමත් වෙලාවක ය.එක්කෝ ඒ හීන  පිපෙන්නට පණ මදි ය.එහෙමත් නැත්තං පිපෙන්නට උදව් කරනවා වෙනුවට වටේ උන් කරන්නේ මල්පාත්තිය උඩ දහඅට පාලිය නටන එක ය.

එතැනින් හීන අහවර වෙනවා නං එකක් ය.ඒත් ඉවසීමෙන් සැනසීම ලැබෙන බව හිත ඉගෙන ගෙන නැත.ඉතින් හිත තවමත් හීන දැකිල්ලේ ඇලී ගෙනය.

රෝද දෙකක් ,හතරක් උඩින් යන හීනය.

මාසෙට කාසි ගෙවන කූඩුවක් වෙනුවට තමන්ගේ ම කූඩුවක් හදන හීන ය.

වාසගම ඉස්සරහට ගෙනයන තවත් හීන පැට්ටේරි බෝ කරන හී න ය.
උන්ගේ හීනය.උන්ගේ උන්ගේ එවුන්ගෙත් හී න ය.
මෙරට හීන ය.
රටින් එපිටට ඉගිලෙන හීන ය.

බලාපොරොත්තු ඉතිරි වෙන හීන ය.

අත පොවන මායිමෙන් ගවු ගානක එහා පිපෙන කවදාවත් අයිති කරගන්න බැරි හීන ය.

හිත හදන  හීන ය
හිත රිද්දා ඔච්චම් කරන හීන ය.

ඇරුණු ඇස් වැහෙන තුරුම ජීවිතය කැරකෙන්නේ ඔය හීන රෝද මත්තේ මය.