කුඩ හොරා කියන්නේ සිබිල් වෙත්තසිංහයන් ළමයින්ට ලියූ හරි අපූරු කතා පුංචකි.පොඩි එවුන්ට ලිව්වාට ලොකු එවුන්ටත් කතාව කියවා රස විඳින්නට කිසිදු බාධාවක් නැත්තේ ය..
කුඩ කතාව ආයෙමත් මතක් වුනේ ගුවන්හමුදා පති උතුමාණන් ගේ බිරින්දෑවහන්සේ ට ෆුල්කිට් ගැසූ නිල දරුවෙක් කුඩයක් අමෝරා ගෙන ඉන්නා පින්තූරයක් බුකියේ එහා මෙහා දුවද්දී ය.
කුඩ හොරා කතාවේ වෙන්නේ රිළව් කුඩ ඉස්සිල්ලක් ය.ඒකයි මේ කුඩ ඉහලිල්ලයි අතරේ මෙලෝ සම්බන්ධයක් නැත.ඒත් එක නෝනෙක්ට ඉහලූ කුඩයක් ගැන විස්සෝප වුනාට අපි හැමදාම නෝනලා මහත්තැන්ලා ට කුඩ ඉහලන ජාතියක් නිසාවෙන් මෙහෙම ලියන්න ට සිත් විය.
අලුත උපදින පොඩි එකා කාලේ තනියෙන් කුඩයක් ඉහලා ගන්නට බැරිය.ඉතින් රෙදි කඩමාල්ලක ඔතා ගත් ඇච්චාට අම්මා අප්පා කුඩ ඉහිලිල්ලේ කිසිදු පරහක් නැත.
ගැටලුව වෙන්නේ හොඳින් කර දඬු උස්මහත් වුණාට පස්සෙන් පහුත් සමහර අම්මලා අප්පලා උන් තවමත් කිරි සප්පයන් සේ සලකා කුඩ ඉහලන් පස්සෙන් දිවීම ය. අව්වට වැස්සට තනිව ම.කුඩේ ඉහලා ගන්නට පොඩි එවුන්ට පුරුදු කළ යුතු බව මේ උන්දැලා හිතන්නේ නැත.
කර දඬු උස් මහත් වුණු උන් බහුතරයක් ගෙදරදී අම්මලාට කියා කුඩ ඉහලවා ගත්තාට , ගෙදරින් පිට යස අගේට කුඩ ඉහලාන කුරුලු තොරන් ඉන්නා ආකාරය පාක් එකකට බීච් එක අයිනකට ගියාම බලා ගන්නට පුලුවන.පොද වැස්සකට තුරුලු වෙන්නට ඔය කාලේ කුඩේ වටිනාම සම්පතක් ය.
දෙදහස් පන්සිය වසරක ප්‍රෞඩ ඉතිහාසය නිසාම දෝ ඔය තරුණ කුඩ බහුතරයක් දිහා තරුණ වියෙන් ඔබ්බට විසි වූ ඇත්තන් බලන්නේ බරපතළ අපරාධකරුවන් දිහා බලනා බැල්මෙන් ම ය.අත් පටලාගෙන පාරේ අඩි දෙකක් ගිය හොත් අනිවාර්යයෙන් ම දැවී අලු වී යන බැලුම් දුසිමක් ය.ගෙදරට පණිවිඩේ යන්නේ බබෙකුත් ලැබී ඉඳුලුත් කට ගෑ ගාන ට ය.ඉතින් පොශ් තැන්වල පෙම් කරන්න ට වරම් නැති බහුතරයක් ඔය වයසේ ඇත්තන් යන්තම් වැස්සෙන් බේරෙන්නට කුඩ කඩ කාරයා හැදූ කුඩේ යට තව තවත් ගුලි වී ඉන්නා එක කොහොමටත් පුදුමයක් නොවේ ය.
කසාද බැන්ද අලුතම නම් ගෙදර උතුමානෝත් ඔය විදිහට කුඩයක් ඉහලාන තුරුළු වෙන්නට එනවා ය.එකෙක් අතට එකෙක් උකුලට බඩු මලු දෙකක් උන්දෑගේ අත් දෙකට එන්නට ගන්නා කාලයට තෙත බරියන් නොවන්නට ඉබේටම දෙන්නාට තනිවම කුඩ ඉහලන්නට වෙනවා ය.පොඩි ඇත්තන් බඩු මලු ගෙදර දමා කුඩයක් ඉහලාගෙන යන්නට එතකොට ඉඳහිට හිතෙන්නට පුලුවන් ය.ඒත් අහළ පහල ගෙවල් වල උන්දැලා තාප්ප උඩින් එබෙමින් බලපල්ලාකෝ නාකි කෝලං කියා සරදම් කරතියි ලෝකාපවාදයට බියෙන් එහෙම කරන්නටත් මැලි ගති ය.ඉතින් ලේසිම වැඩේ කුඩ යට තුරුළු වෙන තරුණ කුරුල්ලන් ඔරවන එක ය.
ඊළග ට කුඩ ඉහලන්නේ වාසිය ට ගැති කම ට ය.ආරච්චි රාල ගමේ ඔෆීශල් ගමන් බිමන් යද්දී කුඩේ අල්ලාගෙන පස්සෙන් යන එක එකෙක් ගේ රාජකාරිය ය.රෑට රෑට ගං ගොඩේ යන අනොෆීශල් ගමන් නම් තනියෙන් වෙන්ට ඕනෑ ය.
රජතුමා මාලිගාවෙන් පිටට අඩි දෙකක් තිබ්බා නම් මුතු කුඩ යටින් ය.රජතුමා විතරක් නොව මුලු හත්මුතු පරම්පරාවම වුනත් දෝලාවල දමාගෙන කරේ තියන් යන එක අපි සැලකුවේ අපේ රාජකාරිය හැටියට ය.ඇයි හත් දෙයියනේ ඒ රට කරවන ඇත්තන් ගේ පවුල් පන්සල් නෙව.
ආරච්චිලා රජවරු බිසෝලා පාඩං පොත්වලිනුත් විසිවෙන කාලේ ආවත් අපේ කුඩ ඇල්ලිල්ල තාමත් එහෙම ය.සල්ලි බාගේ ඇත්නම් දරණ පදවි තානාන්තරය ඉහළ නම් අදාල උන්දැලාට විතරක් නොව ගෙදර ආයම්මා පවා ආයෙත් අර කිරි කැටි අවදියට යනවාය.පොළවේ පය ගසා හිටි උදවිය හිටි අඩියේ එර්දියෙන් යන්නා වූ විදිහක් ය.කැමැත්තෙන් හෝ අකමැත්තෙන් උන්ට කුඩ අල්ලන්නට ,ගොටු අල්ලන්නට කඩේ යන්නට ,පස්ස හෝදන්නට පවා පහළින් ඉන්නා උදවියට සිද්ධ වෙනවා ය.
තමන්ගේ කුඩේ තමන් තනියෙන් ඉහලාගෙන තමන්ගේ වැඩ තනියෙන් ම කරගෙන තමන්ම වාහනය පදවාගෙන තනියම ගෙදර යන බලවත් ගැහැණු මිනිස්සු මෙතෙරත් එතෙරත් නැත්තා නොවේ.ඒත් බහුතරයක් කැමති තමන්ට කුඩ අල්ලනවා නම් ය.බහුතරයක් ඉන්නේ කුඩ ඉහලන මානසිකත්වය ක ය.
කියන්නට තියෙන්නේ අතපය හතර හරි හැටි තිබේනම් තවකෙක් ගේ වහල් කම් බලාපොරොත්තු වෙන එක වෙන මොනවාටත් නොව ඒ ඒ ඇත්තන් ගේ හැදියාව බව ය.
කුඩ කතාව නිමියේ ය.
No comments:
Post a Comment