කරවනැල්ලේ හිටියදී කාලගුණ තත්වය යහපත් නම් බොහෝ විට බට්ටිගේ හවස් වරුව ගත උනේ සෙල්ලම් පිටියේ ය.
අපේ රූටින් එක මෙහෙම ය .බස් එකේ හෝ ශෙල්ටන් මාමාගේ රෝද තුනෙන් කරවනැල්ලේ සිට හූවයි බල්ටි දෙකක දුර රුවන්වැල්ලට ඒම ය.බස් එකෙන් බැස්සා නම් බට්ටි කරේ තබාගෙන ග්‍රවුන්ඩ් එකට පයින් ගාටන්නේ අම්මා කෙට්ටු වෙන්නට හිතා ගෙන ය.ඒ නැතත් ග්‍රවුන්ඩ් එක දකින කං බට්ටි ඉන්නේ අම්මාගේ බෙල්ල බදාගෙන ය.එතැන් හිට කලුවර වැටෙන තෙක් බට්ටි එතනින් හොලවනවා බොරු ය.
කලුවර වැටෙද්දී පිට්ටනියට එහා ගඟ අද්දර ගස්වල කොක්කු දොයි කියන්නට එන්නේ රෑන් පිටින් ය.කොක්කු බලන මුවාවෙන් පිට්ටැන්නෙන් ගලවා ගන්නා බට්ටිගේ ඊළග ඉල්ලීම ගඟ හරහා වැටුණු එල්ලෙන පාලමේ යන්නට ය.බට්ටිට ඕනෑ අම්මාගේ අත අතහැර දුවන්න ය.අම්මා එක්ක ඒවා බැරිය.පාළම මැද්දකට විත් පහලින් පොදි කන මාලු බලා ඊළඟ නැවතුම රුවන්වැල්ලේ ඩූපාන් එකෙන් ඩෝනට් කන්නය.
දූවිලි පෙරාගෙන විත් ඩෝනට් කා කිරිබී චොකලට් අයිසින් නා අම්මාට දඩ ගසා යන බට්ටි එතන ඇත්තන්ට හුරු පුරුදු ය.ඩෝනට් එක උලා ලා ඉවර වෙද්දී කලුවර වැටිලාය.අම්මාගේ දුක අසා ඒ වෙද්දී ශෙල්ටන් මාමා ගේ තුන් රෝදය එතැන ය.බට්ටි කැමතිම වාහනය ශෙල්ටන් මාමාගේ ත්‍රී වීලරය නිසා යාන්තන් බට්ටිව කිහිල්ලේ ගසා ගෙන ගෙදර යා ගන්නට අම්මාට ඉඩ ලැබෙනවා ය.
කවනැල්ලට රුවන්වැල්ලට ඔක්කොටම තිබුනේ එක සෙල්ලම් පිට්ටැන්නක් ය.අපි යද්දී ඒක මියැදෙන්නට පණ අදිනවා ය.ඔංචිලි බොහොමයක් අවසන් ගමන් ගොස් අවසන් ය.යකඩ බට මළකඩ කා දිරා ගොස් ය.
ලිස්සන බෝට්ටුවේ ඉහලින් ගොඩ වෙන කොටහ කැඩිලාම ගොස් ඒ වෙනුවට තිබුනේ හරහට දැමූ ලෑලි කෑල්ලක් ය.පොඩ්ඩෙක් ලෑල්ලට පය තියද්දී සීසෝව වාගේ උඩ ගොස් පොඩි එකා බිමට පත නොබෑවෙන්නට අම්මෙක් හෝ අප්පෙක් ලෑල්ල අල්ලා ගත යුතුය.
ලිස්සා පහළට එන තැන වලක් ය.පොඩි වැස්සක් වැස්සත් එතන මාලු බාන්නට කදිමය.
එවකට තුනටත් වයස නොවූ බට්ටි ඔය කිසිවකින් සැලෙන්නේ නැත.ලිස්සන බෝට්ටුවේ පඩි දෙකක් අතරින් බිමට වැටෙන්නට තරම් ඈ පොඩි ය.ඉතින් උඩට නගින තුරු අම්මාත් ඒ හා නගින්නේ බට්ටිගේ බලවත් විරෝධය මැද්දේ ය.බට්ටිගේ බර අඩු නිසා ලිස්සා ගොස් නතර වෙන්නේ බිම මඩ ගොඩේ ය.මඩ නාගෙන ගෙදර යන්නේ කොහොමදැයි ප්‍රශ්නෙ එන්නේ අම්මාට ය.බට්ටිට ඒවා වැඩක් නැත.
බට්ටි පහළට ලිස්සන පරක්කුවෙන් අම්මා පඩි පෙලෙන් බිමට බහින්නට ඕනෑ ය.නැත්නම් ලිස්සා ගිය වේගෙන් ම වෙන අතක දුවන බට්ටි පැද්දෙන ඔන්චිල්ලාවක හැප්පී බිමට ඩොං ය.
ග්‍රවුන්ඩ් එක ග්‍රවුන්ඩ් එකට ඕනෑ ලෙස තියෙනවා මිස නඩත්තුවක් කෙරුණු පාටක් නැත.බලු බලල් තෑගි දැමු දැමූ තැන වේලුනා ය.තණකොළ කැපිල්ලක් නැත.කුණු ගොඩවල් එහෙම්මය.එහා පැත්තේ පොලෙන් බලු තඩියෙක් ගෙනා මස් කට්ටක් පොඩ්ඩෙක් ගේ යටි පතුල හරහා ගියෙත් ඒ දවස් වලය.
බට්ටිට ඒවා ගානක් නැත.විනය ගරුක දරුවෙකු වූ බට්ටි ග්‍රවුන්ඩ් ගිය ගමන් කරන්නේ සපත්තු ගලවා පැත්තකින් තියන එක ය.එක දවසක් බලද්දී දෙකක් දෙන්නට නොහිතෙන හුරුබුහුටි බලු පුංචෙක් එක පාත්තුවක් උස්සාන දුවනවා ය.
තනි සපත්තු බට්ටිව කර ගහගෙන රුවන්වැල්ලේ ටවුමට විත් ඇර තිබුනු එකම සපත්තු කඩයෙන් දම්පාට සපත්තු ජෝඩුවක් ගෙන කහ පාට ඇඳුමට අන්දාගෙන ගියේ අම්මට වාගේම බට්ටිටත් වර්ණ සංකලනය ගැන මෙලෝ නිච්චියක් නැතැයි උපකලනය කර ය.
වහිනා දවසට ග්‍රවුන්ඩ් නැත. ඔහොම දවස් තුන හතරක් ගත වුනාම බට්ටිට නෑ යකුන් ආවේස වෙනවා ය.යාන්තම් වැස්ස නොවට එකම දවසක් බලා ග්‍රවුන්ඩ් දිව්වේ ඒක ය.ග්‍රවුන්ඩ් එක එකම මඩ වගුරකි.මඩ වලකට උඩින් ඔංචිල්ලාවේ බට්ටිව තබා අම්මා කල්පනා කරන්න ගත්තේ අවම කලබගෑනියකින් බට්ටි ගෙදර ගෙනියන විදිහක් ය.
කොහේ කරන්නද?
පොඩි කොලු පැටවු දෙන්නෙක් සපත්තු ගලවා මඩ වලක නටනවා ය.මඩ නිසා බට්ටිට නොවඳිනා වැඳුම් වැඳ නොගලවා තබා ගත් සපත්තුත් එක්කම බට්ටි පැන්නේ ඔංචිල්ලාව යට මඩ වලට ය. මඩ තැලීම තරම් සතුටක් බට්ටිට තවත් නැත.මඩ සපත්තු දාන්නට ශොපින් බෑග් එකක් තුන් රෝද මාමාට කියා ගෙන්වාගෙන එදා බට්ටි ගෙදර ආවේ සපත්තු නැතිව ය.
කොළඹ යි කරවනැල්ලයි අහසයි පොළවයි වගේ ය.එක එක ජාතියේ සෙල්ලම් පිට්ටනි ය.වැස්ස දාට සෙල්ලම් කරන්න ඇතුලේ පිට්ටනි ය.එහෙම නැත්නම් එලියේ පිට්ටනි ය.සමහර ඒවා ට යන්නට වයස් තහංචි තිබ්බාම බට්ටිට තරහ යන හැටි දන්නේ අපි ය.
කොළඹ සෙල්ලං ගැන ලියන්නට තවත් දවසක් ඕනෑ වේ වි ය.
No comments:
Post a Comment