Tuesday, April 17, 2018

බට්ටිට අවුරුදු

.බට්ටිගේ මුල්ම අවුරුද්ද කරවනැල්ලේය.අප්පච්චි පවුලේ බඩ පිස්සා නිසාවෙන් එතැන් හිට අවුරුදු ගෙවෙන්නේ වලස්ගල ගමේ අත්තම්මාගේ ගෙදර ය.

අම්මා අවුරුදු ගමන් ගිය අතට අනිත් පැත්තට බට්ටි අවුරුදු ගමන් යන්නීය.හයිවේ ඇති නිසා ගමන පහසුය.
පොඩි පරහකට ඇත්තේ අම්මාගෙන් උරුම වූ හෝටල් දැමිල්ලත් හයි වේ එකේ ශටර්ස් ඇරගෙන ගියොත් තාත්තාගේ මූණ හතරැස් වන එකත් ය.මෙදා පාර නම් බට්ටිට හෝටලයක් මුණ ගැහුනේම  නැත.

ගොඩගමින් හයිවේ එලියට දමාගෙන අප්පච්චිගේ ඉස්කෝලෙත් වැඳගෙන එද්දි ඊළඟට මාතර ටවුමේ හිට දකුණු පැත්තෙන් දුවන හෝ ගාන පොකුණ ය.කොළඹ ආවත් තාමත් බට්ටිට කොළඹ මූද ට පනින්නට වෙලාවක් ආවේ නැත .මාතර මූදු වෙරලේ සෙල්ලම් පිට්ටැන්නක් තියෙනවා දැක්කත් සෙල්ලමට නැවතුනේ මෙදා පාරය.
එහෙන් රැලි පෙරලෙන මූද ය.මෙහෙන්  අට අනූවක් සෙල්ලම් එක්ක දුව පනින්නට යාලු පොඩිත්තන්‍ ය.බට්ටිට නිවන් දැක්ක ගාන ය.මූදෙන් සෙල්ලමටය .සෙල්ලමෙන් මූදට ය.අන්තිමේදී බෑගිරි ගහද්දී ගමේ ගෙනියන්නට බට්ටිව කුදලා ගන්නට උනේ හිතකින් නොවේ ය.අම්මාත් බට්ටිත් වැලි ලොරියක් විතර කාර් එක ඇතුලේ ගොඩ ගැහුවාම අප්පච්චිත් අඬන පෝලිමට එකතු නොවුනේ සෑහෙන අමාරුවෙන් ය.

කීයට හරි ගෙදර එනතුරු ගමේ සීයාත් අත්තම්මාත් මග බලාගෙන ය.බටු අවුරුදු කුමාරි පිළිගන්න සීයා අලුත්ම ගේ පොඩ්ඩකුත් හදලාය.අලුත් වලං සෙට් එකකුත් එතනය.ඒත් බට්ටිගේ ඇටෙන්සන් එක නතර වෙන්නේ මිදුල මැද පැද්දෙන ඔංචිල්ලාවට ය.

එතැන් හිට බට්ටිටත් අම්මාටත් තාත්තාටත් ජයටම අවුරුදු ය.කූ...කීස්.කූ කීස් කියමින් කොකිස් වැඩි හරියකට වග කිව්වේ බට්ටීය.අත්තම්මා දිවියලෝකේ රහට ඉව්වත් අම්මා ගේ වටේ එලෙව්වත් කොකිසුත් පපඩනුත් හැර වෙන යමක් බට්ටි කෑවා නම් ඒ සීයා හැදූ කේක්‍ විතර ය.එයින් ප්‍රීති ප්‍රමෝදයට පත්වූ සීයා කේක් ලොට් හතරකට වඩා හැදුවත් කෙල්ල බත් කටක් කටට නොගැනීම අත්තම්මා ගේ විස්සෝපයට හේතු වෙනවාය.
බට්ටිගේ පංගුවත් එක්කම ,කොස් මැල්ලුනුත් පොල්සම්බෝලත් බතුත් ගිල දමා අම්මා කිලෝ හැත්තෑවේ බර පන්තිය පහු කරන්නේ ඔය  නිවාඩු දවස්වල ය.

බට්ටි ගේ හිත කරදර වෙන්නට තිබුන එකම හේතුව විසිල් ගහන අහස් කූරුය.ඇස් ගෙඩි දෙකත් ලොකු කරගෙන ශූ......ඩොම් වලට විරෝදය පල කළ බට්ටි ඉන් පසු නිලා ,බඹර චක්‍ර වාගේ අහිංසකයන්ටත් බෙදුවේ ඒ හැන්දෙන්මය.අහස් කූරක සද්දය ඇසුනු ගමන් තම ආදරනීයයන් සියල්ලන්ම ගෙට ගන්නා බට්ටී දොරවල් සියල්ල වසා ගන්නවා ය.ඉතින් එලියට බහින්නට වෙන්නේ කඩින් කඩ ය. බැරිම තැන බට්ටී මදුලු ගෙදර යන්නට යෝජනා කරන්නේ මද්දු තාත්තාවත් මේ විකාර කූරු පත්තු නොකරනවා ඇතැයි හිතන් ය.
 
අවුරුදු දාත් හරි අපූරුය.අම්මාත් අත්තම්මාත් කුස්සිය මැද දුම් නාගෙන කිරි උතුරනවා බට්ටි බලාගෙන හිටියේ අප්පච්චිගේ අතේ හිඳය.නැකතට අනුභවය ත් සුපුරුදු පරිදි කූ....කීස් ය.ඉස්සිස්සෙල්ලාම බට්ටිට ගනුදෙනු සල්ලියක් හම්බෙන්නේත් මේ අවුරුද්දේ ය.

අවුරුදු ලැබුවායින් පහු තවත් ශෝක්‍ ය.අයියලා අක්කලා ඔක්කොම වගේ අත්තම්මලා බලන්න එනවා ය.බටු ඇටේ ඉතින් කාගෙත් හුරුතලීය.පුවක් කොලපතේ ගමන් එක්කන් යන්නට,විල්බැරෝවේ දමන් යන්නට අයියා ඇවිදින් ය.එහෙන් සීයා හදා දුන් කුරුම්බැට්ටි මැශිමය.මෙහෙන් ජාති අං දෙකකුත් ඇති පොල්පිති වස්සෙක් ය.ඔය අස්සේ නගුට වනවනා පස්සෙන් එන පණ ඇති බලු ජෝඩුවක් ය.එලියේ මිදුලේ මල් ය.රොන් ගන්නට එන සමණල්ලුය.වඩන් පොඩි කරන්නට බලන් ඉන්නා අක්කලා ය.අවුරුදු තෑගි අන්දවා හැඩ බලන නැන්දලා ය.ඉතින් බට්ටිට අවුරුදු ජයදැයි අහන්නට දෙයක් නැත්තේ මය.

දවස් පහකින් පස්සේ ආයෙමත් පුරුදු පරිදි ගෙදර එනවාය.බට්ටි නැතුව අත්තම්මලාට පාලු ඇති ය.ඒ උදවිය නැතිව බට්ටිටත් පාලු ඇති ය.රස්සා කරන අම්මෙක් අප්පෙක් ඉන්නා නිසා එහෙම වුණ වග තේරෙන්නට බට්ටි තාම පොඩි වැඩි ය.

අනිවාර්යයෙන් තව අවුරුදු දෙක තුනකින් අම්මා වගේම ගමේ ගිහින් එන්නට යද්දී තව දවසක් නිවාඩු දාන්නැයි ඉල්ලා බිම පෙරලෙන්නට බට්ටිත්  මැලි වෙන එකක් නැත.ගහේ කටු උල් කරන්න ඕනයැ මොකෝ.

Monday, April 16, 2018

පොඩි කාලේ අවුරුදු

ඉස්සර කාලේ අවුරුදු ඉවර වුනාම එලඹෙන වැදගත් ම නැකත නෑගම් යන එක ය.

තාත්තාගෙත් අම්මාගෙත් කාර්‍යබහුල රාජකාරී ජීවිත නිසාවෙන් ගමේ යන්නට ඉඩක් ලැබෙන්නේ බොහෝ විට සිංහල අවුරුද්දටත් ඉස්කෝල නිවාඩුවටත් විතර ය.තාත්තාගේ ගම හොරණ ය.අම්මාගේ ගම හෝකන්දර ය.හයි වේ නොතිබුණ ඒ කාලේ ගෙදරින් උදේට කන්නට හදාගෙන උදේම අපි  ගමේ යන්නට කාර් ගත වෙමු.

ඒ කාලේ දරුණුවටම තිබූ වාහනවල හෝටල් දැමිල්ලේ රෝගය නිසාවෙන් ගමනේ වැඩි හරියක් මම පිටිපස්සේ සීට්  එකේ පොළවට සමාන්තරව ය.දැන් වාගේ දාර පත සරීර කූඩුවක් නොතිබුණු සහෝදර සමාගමත්  ජනෙල්වලට පොර අල්ලමින් මා හා පිටිපස්සේ ය.
ගෙදරින් කෑම ගෙනියනවාට අපි දෙන්නාම අකමැති යන පාරේ  මග්ගොන නිව් මෝනිස් එකෙන් කන්නට ලැබෙන හින්දා ය.

මුල් ම නැවතුම හොරණ තාත්තාගේ මහගෙදර ය.තාත්තාගේ මහ ගෙදර ගාම්භීර ය.ඒත් කළුවර ගුහාවක් ය.ගස් පිරෙන්නට ජම්බු,මැංගුස්,ගඩිගුඩා තියෙන එකේ වත්තේ ගස් ගෙඩි හූරනවා මිසක මම ගෙට ගොඩවෙනවා අඩු ය.ගෙට ගොඩ වෙන්නේ කැවිලි පිඟානට වග කියන්න ට ය.ලොකු නැන්දා ගේ දෝනියන්දැලා දෙන්නා මට වඩා වැඩිමල් අවුරුදු කීපයක් ය.යුද්ධෙ වෙන්නේ එහෙන් එන්නට ලැහැස්ති වුනාම ය .වැඩිහිටි උදවියට වඳිද්දී  මගේ වැඳිල්ලෙන් බේරෙන්නට කෙල්ලන් දෙන්නා ගේ පුරාම දුවන්නට ගන්නවා ය.මමත් අතාරින්නේ නැත.

  ඊළඟ නැවතුම අම්මාගේ මහගෙදර ය.පොඩි කාලේ මම කැමතිම  තැන එහේය.දැන් ටවුන්ගත වෙමින් තිබුණත් ඒ කාලේ හෝකන්දර හද්දා ගම ය.ඒ පිටිසර කමට මම සෑහෙන ආදරේ ය.ගේ වටේට විසාල වත්තක් ය.ජම්බු,නමිනං,පේර,වෙරලු ගස් වත්ත වටේ ට ය.වැලි මිදුල කකුලට සනීප ය.රස්නයක් අහලකවත් නැත.තාත්තලාගේ ගෙදරට වඩා එහේ කළඑලිය නිසාදෝ මම එහෙට මනාපය.

ඔය කොයිකටත් වඩා අම්මාගේ මහ ගෙදරට මනාප මාමාගේ දෝනියන්දෑ හිටි නිසා වෙන්නටත් පුළුවන.මට වඩා අවුරුද්දක් බාල  උන්දෑ පස්සෙන් එල්ලාගෙන රයිගමයා හා ගම්පලයා සේ හැම අහුමුල්ලක ම රිංග රිංගා මොනවා හරි කූරු ගෑම අපි දෙන්නාගේ සිරිත ය.කෝපි අතුවල නැඟ ඔංචිලි පැදීම,කාටත් හොරෙන් ගස් බඩ ගා වරකා කැඩීම ,සෙල්ලම්බ් බත් ඉවිල්ල ,ඉඳ හිට කෙහෙවලු පටලා ගැනීම අපි දෙන්නාගේ ප්‍රියතම රාජ කාරි ය.

අම්මාගේ අම්මා මියැදුනේ මම තුනේ හතරේ විතර ඉඳිද්දී වගේ ය.ඊට කලියෙන් ගමේ ගියාම අත්තම්මාගේ පස්සෙන් වැටීමත් අපි දෙන්නාගේ සිරිත ය .අත්තම්මා ගේ අපි කැමතිම රාජකාරිය බල්ලන් නෑවිල්ලය.නාන්නට කොහෙත්ම අකමැති බලු තඩියන් පස්සෙන් අඹා අල්ලාගෙන ,උන් ඇදගෙන දුවද්දී පස්සවල් හූරාගෙන බඩවැටි අස්සේ රිංගා ,උන් නාවාගෙන අපිත් බාගෙට නාගෙන එන එක තරම් විනෝදයක් තවත් නැත.

ගෙදර ටැප් එකෙන් නානවාට වඩා මහ ගෙදර ළිඳෙන් නාන එක හරිම අපූරු ය.බාල්දියේ එල්ලී වතුර ඇඳගෙන හීතලේ වෙවුල වෙවුලා නා ගත් විට පුදුම සනීප ය.ඊටත් වඩා කදිම ඉඳ හිට දවසක අත්තම්මා එක්කං යන කෝපිකඩේ නාන ළිඳ ය.වටේ බැඳ නැති ලිඳේ වතුර අත ළඟ නිසා වතුර අඳින්නට මහන්සි වෙන්නට ඕනෑ නැත.නානවාට වඩා නංගිගෙත් මගෙත් වෑයම ලිං ගැට්ටේ ඉඳගෙන අපිට කෝචෝක් කර කර එහා මෙහා පීනන මාලු අල්ලන්නට ය. තොපි ළිඳට වැටුනොත් අම්මලාට මම ළමයි හදලා දෙන්නදැයි අත්තම්මා ගෝරනාඩු කරත් උත්සාහය අත අරින්නේ අපි නොවේ.ඒත් මාලුවෙක් තියා ඉස්ගෙඩියෙක් වත් අපිට අහු වෙන්නේ නැත.

අම්මාගෙන් කන් කෙඳිරි ගා සල්ලි ඉල්ලාගෙන ,නැතිනම් අල්මාරිවල ලාච්චු සුද්ධ කර රුපියලේ දෙකේ ඒවා එකතු  කරගෙන පුංචි අම්මාගේ කඩයෙන් හකුරු,පරිප්පු,බුල්ටෝ ඈ කඩචෝරුවලින් බඩ පුරවා ගන්නා හැටි දුටුවෙක් අනිවාර්‍යෙන් ම හිතන්නේ අපිට ගෙදරින් හත් අවුරුද්දකට කෑම වේලක් නොලැබී ඇති බව ම ය.කඩේ පැත්තක කුමුදු අයියාත් ගොලු පුංචීත් මල්ලිලාත් එක්ක සෙල්ලම් ගෙවල්,සෙල්ලම් කඩ දැමිල්ලත් කම්මැලි වෙලාවට හොඳ විසඳුමක් ය.

මහ ගෙදර ඉස්සරහ පොඩි ගෙදරක හිටියේ චලා ආච්චිය.චලා ආච්චි කුස්සියේ බිම ගාන්නේ ගොම ය.උන්දෑගේ පලා මැල්ලුම තරම් රස මැල්ලුමක් තාමත් මට හමු වී නැත.පිඟානට කොත ගසා බෙදා දෙන බත් එකේ ඇටයක්වත් ඉතුරු වෙන්නේ නැත.ආච්චිගේ ගේ දොරකඩ රඹුටන් ගහ ය.ඒ වටපිටාවේ රඹුටන් ගහක් තිබ්බේ එහේ විතරය.ටකයක් බැඳගෙන ආච්චි පරිස්සම් කළ රඹුටන්වලට වගකිව්වේ නිවාඩුවට කඩා පාත් වෙන අපි ය.

මහ ගෙදර රෑ පාන තවත් සුන්දර ය.රෑට සප්පායම් වුණාට කාටවත් නිදා ගන්නට හදිසියක් නැත.වැඩි දවසක් පොඩි අපි ටික නිදාගන්නේ සාලේ මැද එලා ගත් පැදුරු වලය.කොස්සක නැගී අපි වටේ ගිය පොඩි මල්ලීට කොස්ස රිවස් කියා නමක් පට බැඳුනේ ඔය සාලේ ය.

බිත්ති ඔරලෝසුව දාර හඬින් රෑ එකොළහ දොලහ සටහන් කරද්දී කිචිබිචිය නවත්තා  නිදා ගන්නැයි ඉහළින් දෙතුන් වතාවක් තරවටු කිරීම් ආවත් අපිට ඒ ගානක් නැත.ඔය කිචි බිචි ,හිනා ,විහිලු මැද නොදැනීම ඇහැ පියවෙනවා ය.

අම්මලාගේ කාලසටහන් වල නිවාඩු තිබුනේම නැති නිසා නෑගම් එන්න තිබුනේ දවස් දෙක තුනක් විතර ය.එහෙ බලා මෙහෙ බලද්දී ඔය දවස් ගෙවිලා ඉවර ය.
ඊළඟට එන්නේ ගෙදර යාමට විරෝදය ප්‍රකාශ කරන නැකත ය.තව දවසක් ඉන්නට යෝජනා ,බැගෑපත් ඇවිටිලි, කුණු කුණු,නහයෙන් ඇඬිලි ඉදිරියේ ඒ දවස්වල අම්මලා සෑහෙන්න අසරණ වෙන්නට ඇත.ඒ ඇවිටිලි හරි නොගිය තැන යන වෙලාව තව පැයක් පස්සට දාගන්නට බඩ රිදිලි, හිසේ ඇම්මවල් එහෙම අනිවාර්‍ය්යෙන් හැදෙනවා ය.මහ ගෙදරින් එළිය බහින්නේ තාත්තා ගේ සැර කිරිලි ,ගෙරවිලි අඩි ,පොලවේ හැප්පිලිවලට නරක් කරගත් හිත් බර කරන් ය.

ආයෙත් එද්දී පාරත් මූසල ය.අහසත් කලු ය.මුලු වටපිටාවම මහා පාලු ය.අපි පිටිපස්සේ නිදි කිරා වැටෙද්දී තාත්තාට නින්ද යයි දැයි විපරමෙන් අම්මා අවදියෙන් ය.රෑ දෙගොඩහරි යාමේ ගෙවල් වලට සේන්දු වෙන්නේ බර වෙච්චි හිත් එක්කම ය.

ඒත් පහුවදා ඉඳන් අපි ආයෙත් හැල්මේ දුවන ගමනේ ය.ඒත්  ඉඳහිට නැවතී ඇස් පියා ගත් වෙලාවට ඊළඟ අවුරුද්ද එනකන් හිත හදාගන්නට අවුරුදු මතක ගොන්නක් හිත අස්සේ ඉතුරු ය.

Sunday, April 15, 2018

එන්න ඇඩ්මිට් වෙමු.වෙද පිටුවේ ලිපි එකතුවෙන්


ලෙඩ වෙන්න කවුද කැමති

ඒත් ඉතින් ලෙඩ රෝග කියන එක කාටත් හැදෙනවා.
සමහර අසනීපවලට බාහිර රෝගියෙක් හැටියට බෙහෙත් ගන්න පුලුවන් වුනත් සමහර ලෙඩ රෝගවලට රෝහලක නේවාසිකව ප්‍රතිකාර ගන්නට සිදු වෙනවා.
සමහර ව්ට ජීවිතේට වරක් දෙවරක් ලබන අත්දැකීමක්.

නුහුරු බව නිසා කෙනෙක්ට බොහොම අමිහිරි අත් දැකීමක් වෙන්නත් ඉඩ තියෙනවා
ඉතින් අපි හිතුවා නේවාසික ප්‍රතිකාර ගන්නට වෙන ඔබට ඒ අත්දැකීම අමිහිරි එකක් නොවෙන්නට ප්‍රායෝගික උපදෙස් ටිකක් ලබා දෙන්න.

*  රෝහලකට ඇතුල් වෙන්න හේතු  වෙන අවස්ථා දෙකක් තියෙනවා.

1.යොමු කිරීමක් (referral) මත

මේ යොමු කිරීම රෝහලේ බාහිර රෝගී අංශයෙන් හෝ සායනයකින් වෙන්න පුළුවන්.
එක් රෝහලකින් තවත් රෝහලකට යොමු කිරීමක් වෙන්නත් පුලුවන් .
රෝහලෙන් පිටත පුද්ගලික අංශයේ  වයිද්‍යවරුන් ගේ තීරණය ක් උඩ වෙන්නත් පුලුවන්.

මෙතනදී සමහර වෙලාවට ඔබ රෝහල් ගත වීමට වෙන බව දැන ගන්නේ ඒ මොහොතේ වෙන්නට පුලුවන්.

උදා: උණට බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ගැනීමට එන රෝගියෙක් රුධිර පීඩනය අඩුවීම නිසා ඇතුලත් කිරීමට සිදු වීම

නමුත් ඇතැම් අවස්ථාවල ඔබට ඇතුලත් විය යුතු බව කලින් දැනුම් දෙනවා.

උදා  : ශල්‍ය රෝග සායනය හරහා   හදිසි නොවන සැත්කමකට ලබාදුන් දිනයක ඇතුලත් වීම

2.රෝගියා විසින් හෝ භාරකරුවන් විසින් රෝගියා ඇතුලත් කිරීමට තීරණය කිරීම

-බාහිර රෝගියෙක් ලෙස ප්‍රතිකාර   ගැනීමෙන් සුව නොවූ රෝගීන්
-බාහිර රෝගී අංශය වෙත යා නොයුතු හදිසි රෝගීන්
උදා :හදිසි අනතුරු, ආසාත්මිකතා, හර්දයාබාධ  මේ ආකාරයට කෙලින්ම රෝගීන් ඇතුලත් කිරීමේ අංශයට පැමිනෙන  අය

*  කොහොමද රෝගියෙකු රෝහලට ඇතුලත් කරන්නේ?

රෝගින් ඇතුලත් කරගන්නා ස්ථානය රෝහලක ප්‍රධාන පිවිසුම ආසන්නයේ බොහෝ විට තිබෙන්නේ.

රෝහලේ තොරතුරු කවුලුවෙන් ,හෝ උපස්ථායකවරයෙක් ගෙන් එසේත් නැතිනම් ආරක්ෂක නිලදාරියෙකුගෙන් විමසීමෙන් එම ස්ථානය සොයා ගත හැකි යි.

රෝගියා එම ස්ථානය වෙත දෙපයින් යාමට නොහැකි ලෙස රෝගීව සිටියි නම්  උපස්ථායවරයෙකු ට ඒ බව දැනුම් දී රෝගියා රෝද පුටුවකට හෝ ට්‍රොලියකට ගත යුතූයි.

ඇතැම් අවස්ථා වල රෝගියාට එතරම් අපහසුවක් නැතත් රෝගී තත්වය අනුව එසේ යාම උචිත නිසා උපස්ථායක වරයෙක් ඔබගෙන් විමසා සිටින විටක රෝගියාගේ රෝගී තත්වය කෙටියෙන් පවසන්න මැලි වන්නට එපා.

රෝගීන් ඇතුලත් කරන ස්ථානයේදී රෝගියා සමඟ එක් අයෙක් සිටීම ප්‍රමාණවත් .

හදිසි රෝගීන් සැමවිටම මුල් තැන දීමටත් ඔබ කාරුණික විය යුතුයි.

රෝගීන් ඇතුලත් කරන වයිද්‍යවරුන් ඔබගේ රෝග ළක්ශන කෙටියෙන් විමසා ඇඳ ඉහපත් වාර්තාවක්(bed head ticket) ඔබට ලබා දෙනවා.
මෙය නීතිමය ලියවිල්ලක් ද බැවින් ඔබගේ  නම,වයස ආදී තොරතුරු නිවැරදි ව ලබා දිය යුතුයි.

රෝගීන් ඇතුලත් කරන ස්ථානය ඉතාමත් කාර්‍ය බහුල බැවින් ඔබගේ රෝග ළක්ශන කාලානුරූපීව කෙටියෙන් පැවසීම සුදුසු යි.

දිගු කාලීනව ප්‍රතිකාර ලබන අසනීප හා ආසාත්මිකතා තිබේ නම් ඒ ගැන අනිවාර්යයෙන් සඳහන් කළ යුතුයි.

අදාල ඇඳ ඉහපත ලියාපදිංචි කිරීමෙන් අනතුරුව ඔබව අදාල වාට්ටුව වෙතට යොමු කරනු ලබනු ඇති.

*  පෙර සැලසුමකට අනුව සිදු කරන ඇතුලත් කිරීම් හෙවත් requested admissions සිදු වෙන්නේ කොහොමද ?

-හදිසි නොවන සැත්කම්
-සංකූලතා රහිත දරු ප්‍රසූති
-දිගු කාලීන රෝගී තත්වයක් පිලිබඳව වැඩි දුර පරික්ශන සඳහා
-විශේෂිත ප්‍රතිකර්ම සඳහා

මේ ආකාරයට රෝගියෙක් රෝහලට ඇතුලත් කිරීම පෙර සැලසුම් කිරීම කළ හැකියි.

*  සායන පොතේ හෝ වෙනත් ස්ථානයක රෝගියා ඇතුලත් විය යුතු දිනය ,වෙලාව හා වාට්ටුව වයිද්‍යවරුන් සටහන් කරනු ලබනවා.බොහෝ විට එම දිනය අදාල සැත්කම හෝ පරික්ශනයට පෙර දිනයක්. එසේ සිදු කරන්නේ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු නැවතත් විවිධ වයිද්‍යවරුන් රෝගියාගේ තත්වය නිගමනය කිරීමට, විවිධ පරික්ශන වාර්තා ලබා ගැනීමට හා යෝජිත ප්‍රතිකර්මයට විශේෂිත සූදානම් කිරීම් සඳහා කාලය අවශ්‍ය නිසා යි.ලබා දුන් නියමි දිනයට හා වේලාවට ප්‍රමාද වීමෙන් ඔබට යෝජිත ප්‍රතිකර්ම මඟ හැරීමට ඉඩ ඇතිවා මෙන්ම තව රෝගියෙක් ගේ අවස්ථා වත්  අහිමි වෙනවා.

*  දිගුකාලීන ඖෂධ භාවිතා කරන රෝගීන් ගේ සමහර ඖෂධ යෝජිත ප්‍රතිකර්මයට පෙර යම් කාලසීමාවක් නැවතීමට,වෙනත් ආදේශක ඖෂධ භාවිතා කිරීමට  ඇතැම් විට උපදෙස් ලැබෙනවා .

තවත් අවස්ථාවක වෙනත් නව ඖෂධ ආරම්භ කිරීමට උපදෙස් ලැබෙනවා.
මෙසේ කරන්නේ ප්‍රතිකාර කාලය තුල විය හැකි සංකූලතාවයන් අවම කිරිමට යි.එනිසා එම උපදෙස් නිසිපරිදි පිලිපැදීම කළ යුතුයි .යම් හෙයකින් එසේ නොකළහොත් යෝජිත ප්‍රතිකාර අවස්ථාවේ ඔබට යම් දරුණු සංකූලතාවයන් ඇති වීමේ අවදානම ක් ඇති නිසා නිසි ඖෂධ භාවිතය මග හැරුණු විටක නොසඟවා ඒ ගැන වයිද්‍යවරුන් හට දැනුම් දිය යුතුයි.

* ඇතුලත් වීමට පැමිනෙන විට යම් පරික්ශන වාර්තා රැගෙන එන ලෙසත් උපදෙස් ලැබෙනවා.එහිදී අදාල පරික්ශන වාර්තා ලබා ගත යුත්තේ කුමන කාල පරාසයක දීද යන්න වයිද්‍යවරුන්ගෙන් විමසා නිසි පරිදි එම වාර්තා ලබා ගත යුතු ය.ඊට අමතරව වැදගත් පරික්ශන වාර්තා ,රෝග විනිශ්චය පත්,සායන සටහන් ආදියද රැගෙන පැමිනිය යුතුයි .
.
*  ඇතැම් අවස්ථාවක නිරාහාරව හෝ ආහාර රටාවේ වෙනසක් සහිත ව ඇතුලත් වීමට උපදෙස් ලැබෙනු ඇති.නිරාහාරව සිටිය යුතු කාලසීමාව නිවැරදි ව කල් තියා විමසා ගැනීම සුදුසු යි.

*  ඇතුලත් වීමේදී හැකිතාක් රෝහල්ගත ව සිටීමට අත්‍යවශ්‍ය දෑ පමණක් රැගෙන ඒම උචිතයි .ආභරණ ආදී වටිනා දෑ නිවසේ ම තබා ඒමත් මිලමුදල් ආදිය රෝහල තුල භාවිතය අවම කිරීමත් මගින් එවන් දෑ අස්ථානගත වුනහොත් ඇතිවන නොපහන් අවස්ථා මග හැරෙනවා.බොහෝ විට රෝගියාට අවශ්‍ය ද්‍රව්‍ය පිලිබඳ ව හෙද නිලදාරියෙකුගෙන් විමසා දැන ගැනීමට පුලුවන .

* ඇතුලත් වීමට දින ලබා දුන් පසු ඇතුලත් වන දින තෙක් කාල පරාසය තුල අදාල රෝගී තත්වයේ වෙනසක් හෝ නව රෝගී තත්ව රෝගියාට ඇති වී තිබෙනවා වෙන්නට පුලුවන්.යෝජිත ප්‍රතිකාර සඳහා මින් බලපෑමක් වීමට යම් ඉඩක් ඇති නිසාවෙන් මේ ගැන ත් වයිද්‍යවරුන් දැනුවත් කළ යුතුයි .

*  හදිසි ලෙඩෙක් රෝහලට ඇතුලත් කරන්නෙ කොහොමද ?

මෙවන් හදිසි ඇතුලත් කිරීම්ද වර්ග කිහිපයකට අයත් විය හැකියි .

1.නිවසේ දී,රැකියා ස්ථානයේදී හෝ මඟ තොටේදී හදිසියේ ඇතිවන අසනීප තත්වයක් හෝ තිබූ අසනීප තත්වයක් උත්සන්න වීම නිසා රෝහලට රැගෙන ඒමක්

2.අසනීප තත්වයකට ප්‍රතිකාර ගැනීමට රෝහල් බාහිර රෝගී අංශය වෙත හෝ පුද්ගලික වයිද්‍ය සේවාවක් වෙත යොමු වූ විට අසනීප තත්වය නේවාසික ව ප්‍රතිකාර කළ යුතු තත්වයක් බව වයිද්‍යවරුන් තීරණය කිරීමක්.

3.දිගු කාලීන ව පවතින අසනීපයක් සඳහා සායනය වෙත පැමිනි අවස්ථාවක රෝගී තත්වයේ වෙනසක් නිසාවෙන් හදිසි ප්‍රතිකාර ඇරඹීමට අවශ්‍ය බව තීරණය වීමක්.

බොහෝ විට මෙවන් ඇතුලත් කිරීම් ප්‍රමාද කිරීම සුදුසු නැහැ.මක් නිසාද යත් ප්‍රතිකාර ඇරඹීමට ප්‍රමාද වීම ඉතා බලවත් සංකූලතාවයන් ඇති කිරීමට හේතු විය හැකි බැවින්.

*  නමුත් බොහෝ අවස්ථාවලදී මෙවන් හදිසි ඇතුලත් කිරීම්වලට රෝගීන් කැමති කරවා ගැනීම සෑහෙන අපහසුයි.

* බොහෝ දුරට ඊට හේතු වන්නේ

-රෝහලට පැමිනි බව නිවසේ සාමාජිකයන් නොදැන සිටීම
-කුඩා දරුවන් රෝගී මව සමග රෝහලට ගෙන ඒම
-කුඩා දරුවන් පාසලේ,පන්තියක හෝ නිවසේ තබා ඒම
-නිවසේ රෝගී හෝ වියපත් පුද්ගලයන්ට රැකවරණය සලසන වගකීම රෝගියා සතු වීම
-රෝගී තත්වයේ අවදානම පිලිගැනීමට ඇති අකමැත්ත

වැනි කාරණා යි.

බොහෝ විට වයිද්‍යවරුන් ඔබට එවේලේම රෝහල් ගත වීම නිර්දේශ කරන්නේ එය ඔබේ යහපැවැත්මට අත්‍යාවශ්‍යම නිසායි.

හදිසි අවස්ථා අප බොහෝ දෙනෙක් අපේක්ෂා නොකරන බව සැබෑයි.

*  නමුත් හදිසි අවස්ථාවක දී අපහසුවට පත් නොවීමට රෝගී ඔබට යම් ක්‍රියාමාර්ග ගත හැකියි.

-   රෝගී තත්වයකට ප්‍රතිකාර ගැනීමට නිවසෙන් නික්මෙද්දී නිවසේ එක් සාමාජිකයෙක් හෝ ඒ පිලිබඳ දැනුවත් කර පැමිණීම සුදුසු යි.
-  හැකිනම් සැමවිටම තවත් වැඩිහිටි සාමාජිකයෙක් සමඟ පැමිනීමත් නුවනැති පියවරක් .

-  යම් හෙයකින් හදිසියේ රෝහල්ගත වීමට සිදු වෙතැයි යන අදහසත් සිතේ තබාගෙන යම් පෙර සූදානමක් සහිතව ප්‍රතිකාර සඳහා යොමු විය හැකි නම් ඉතාමත් යෝග්‍ය යි.

-නිරෝගී කුඩා ළමුන් රෝගී ඔබ සමඟ රෝහලට රැගෙන නොඒම වඩාත් සුදුසු යි.එසේ කළ නොහැකිම අවස්ථාවක හදිසි ඇතුලත් වීමකට සිදු වුවහොත් දරුවා භාර දිය හැකි විශ්වාසවන්ත වැඩිහිටියෙකු කැටුව පැමිනීම සුදුසු යි.

-හදිසි අවස්ථාවක දී බොහෝ විට රෝගියා තමන් පිලිබඳ නිසි තොරතුරු ලබා දීමට අපහසු තත්වයක සිටීම සුලබ සිදුවීමක්.

-සිහිසුන් වීම, වේදනාව,මත් ද්‍රව්‍ය  භාවිතය ආදී හේතු නිසා  නිවැරදි රෝග නිගමනය ඉතා අසීරු වීම සුලබයි .
එවන් අවස්ථාවක රෝගියා රැගෙන එන පිරිස රෝගියාගේ නිවැරදි තොරතුරු සැකෙවින් දන්වා සිටීම ඔහුට හෝ ඇයට අවශ්‍ය නිසි ප්‍රතිකාර සඳහා ඉක්මණින් යොමු වීමට උපකාර වෙනවා.

-මීට අමතරව රෝගියා ගේ මින් පෙර ප්‍රතිකාර ගත් රෝග ඉතිහාසය ,ශල්‍යකර්ම  හා ආසාත්මිකතා  පිලිබඳ තොරතුරු ත් ඉතා වැදගත්.

-මේ නිසා විශේශයෙන්ම වියපත්  පුද්ගලයන් ,දිගු කාලීන රෝග සඳහා ප්‍රතිකාර ලබන පුද්ගලයන් භාරයේ ඔවුන්ගේ පුද්ගලික තොරතුරු ,භාරකරුවන් ගේ දුරකතන අංකයක්,ප්‍රතිකාර ගනු ලබන රෝග හා ඖෂධ වර්ග,අසාත්මිකතා ගැන ලිඛිත සටහනක් තිබීම ඉතා ප්‍රයෝජනවත් .

* ලෙඩාගේ තනියට එන අයට උප දෙස්

හදිසි ඇතුලත් වීම් විශේෂයෙන් ම රිය අනතුරු වැනි අවස්ථාවල එක් වරම කලින් නිරෝගී ව පුද්ගලයන් අනපේක්ෂිතව හදිසියේ රෝගී වීම සිදු වෙනවා.

බොහෝ විට මෙවන් අවස්ථවලදී රෝගියාගේ පවුලේ නෑ හිතවතුන් බොහෝ දෙනෙක් රෝහලට එක් රොක් වීමත්,රෝගියා ඇතුලත් කළ වාට්ටුව ඇතුල් වීමට උත්සාහ කිරීමත් සිදු වෙනවා.මෙයින් බොහෝ විට රෝගියාට සිදු වන්නේ යහපතකට වඩා අයහපතක්.එවන් අවස්ථාවලදී රෝහලේ සාමාන්‍ය කටයුතුවලට බාධා සිදුවීම,බාහිර පිරිස් හා රෝහල් කාර්‍ය මණ්ඩලය අතර ඝට්ටනයක් ඇති වීම පවා සිදු විය හැකියි .

එනිසා හදිසි ඇතුලත් කිරීමක දී එවන් රෝහලේ එදිනෙදා කටයුතුවලට බාධා වෙන හැසිරීමෙන් වැලකීම සියලු රෝගීන් වෙනුවෙන් ඔබ විසින් ඉටු කළ යුතු යුතුකමක්.

Friday, April 13, 2018

කුඩ හොරා

කුඩ හොරා කියන්නේ සිබිල් වෙත්තසිංහයන් ළමයින්ට ලියූ හරි අපූරු කතා පුංචකි.පොඩි එවුන්ට ලිව්වාට ලොකු එවුන්ටත් කතාව කියවා රස විඳින්නට කිසිදු බාධාවක් නැත්තේ ය..

කුඩ කතාව ආයෙමත් මතක් වුනේ  ගුවන්හමුදා පති උතුමාණන් ගේ බිරින්දෑවහන්සේ ට ෆුල්කිට් ගැසූ නිල දරුවෙක් කුඩයක් අමෝරා ගෙන ඉන්නා පින්තූරයක් බුකියේ එහා මෙහා දුවද්දී ය.

කුඩ හොරා කතාවේ වෙන්නේ රිළව් කුඩ ඉස්සිල්ලක් ය.ඒකයි මේ කුඩ ඉහලිල්ලයි අතරේ මෙලෝ සම්බන්ධයක් නැත.ඒත් එක නෝනෙක්ට ඉහලූ කුඩයක් ගැන විස්සෝප වුනාට අපි හැමදාම නෝනලා මහත්තැන්ලා ට කුඩ ඉහලන ජාතියක් නිසාවෙන් මෙහෙම ලියන්න ට සිත් විය.

අලුත උපදින පොඩි එකා කාලේ තනියෙන් කුඩයක් ඉහලා ගන්නට බැරිය.ඉතින් රෙදි කඩමාල්ලක ඔතා ගත් ඇච්චාට අම්මා අප්පා කුඩ ඉහිලිල්ලේ කිසිදු පරහක් නැත.
ගැටලුව වෙන්නේ හොඳින් කර දඬු උස්මහත් වුණාට පස්සෙන් පහුත් සමහර අම්මලා අප්පලා උන් තවමත් කිරි සප්පයන් සේ සලකා කුඩ ඉහලන් පස්සෙන් දිවීම ය. අව්වට වැස්සට  තනිව ම.කුඩේ ඉහලා ගන්නට පොඩි එවුන්ට පුරුදු කළ යුතු බව මේ උන්දැලා හිතන්නේ  නැත.

කර දඬු උස් මහත් වුණු උන් බහුතරයක් ගෙදරදී අම්මලාට කියා කුඩ ඉහලවා ගත්තාට , ගෙදරින් පිට යස අගේට කුඩ ඉහලාන කුරුලු තොරන් ඉන්නා ආකාරය පාක් එකකට බීච් එක අයිනකට ගියාම බලා ගන්නට පුලුවන.පොද වැස්සකට තුරුලු වෙන්නට ඔය කාලේ කුඩේ වටිනාම සම්පතක් ය.

දෙදහස් පන්සිය වසරක ප්‍රෞඩ ඉතිහාසය නිසාම දෝ  ඔය තරුණ කුඩ බහුතරයක් දිහා තරුණ වියෙන් ඔබ්බට විසි වූ ඇත්තන් බලන්නේ බරපතළ අපරාධකරුවන් දිහා බලනා බැල්මෙන් ම ය.අත් පටලාගෙන පාරේ අඩි දෙකක් ගිය හොත් අනිවාර්යයෙන් ම දැවී අලු වී යන බැලුම් දුසිමක් ය.ගෙදරට පණිවිඩේ යන්නේ බබෙකුත් ලැබී ඉඳුලුත් කට ගෑ ගාන ට ය.ඉතින්  පොශ් තැන්වල පෙම් කරන්න ට වරම් නැති බහුතරයක් ඔය වයසේ ඇත්තන් යන්තම් වැස්සෙන් බේරෙන්නට කුඩ කඩ කාරයා හැදූ කුඩේ යට තව තවත් ගුලි වී ඉන්නා එක කොහොමටත් පුදුමයක් නොවේ ය.

කසාද බැන්ද අලුතම නම් ගෙදර උතුමානෝත් ඔය විදිහට කුඩයක් ඉහලාන තුරුළු වෙන්නට එනවා ය.එකෙක් අතට එකෙක් උකුලට බඩු මලු දෙකක් උන්දෑගේ අත් දෙකට එන්නට ගන්නා කාලයට තෙත බරියන් නොවන්නට ඉබේටම දෙන්නාට තනිවම කුඩ ඉහලන්නට වෙනවා ය.පොඩි ඇත්තන් බඩු මලු ගෙදර දමා කුඩයක් ඉහලාගෙන යන්නට එතකොට ඉඳහිට හිතෙන්නට පුලුවන් ය.ඒත් අහළ පහල ගෙවල් වල උන්දැලා තාප්ප උඩින් එබෙමින් බලපල්ලාකෝ නාකි කෝලං කියා සරදම් කරතියි ලෝකාපවාදයට බියෙන් එහෙම කරන්නටත් මැලි ගති ය.ඉතින් ලේසිම වැඩේ කුඩ යට තුරුළු වෙන තරුණ කුරුල්ලන් ඔරවන එක ය.

ඊළග ට කුඩ ඉහලන්නේ වාසිය ට ගැති කම ට ය.ආරච්චි රාල ගමේ ඔෆීශල් ගමන් බිමන් යද්දී කුඩේ අල්ලාගෙන පස්සෙන් යන එක එකෙක් ගේ රාජකාරිය ය.රෑට රෑට ගං ගොඩේ යන අනොෆීශල් ගමන් නම් තනියෙන් වෙන්ට ඕනෑ ය.

රජතුමා මාලිගාවෙන් පිටට අඩි දෙකක් තිබ්බා නම් මුතු කුඩ යටින් ය.රජතුමා විතරක් නොව මුලු හත්මුතු පරම්පරාවම වුනත් දෝලාවල දමාගෙන කරේ තියන් යන එක අපි සැලකුවේ අපේ රාජකාරිය හැටියට ය.ඇයි හත් දෙයියනේ ඒ රට කරවන ඇත්තන් ගේ පවුල් පන්සල් නෙව.

ආරච්චිලා රජවරු බිසෝලා පාඩං පොත්වලිනුත් විසිවෙන කාලේ ආවත් අපේ කුඩ ඇල්ලිල්ල තාමත් එහෙම ය.සල්ලි බාගේ ඇත්නම් දරණ පදවි තානාන්තරය ඉහළ නම් අදාල උන්දැලාට විතරක් නොව ගෙදර ආයම්මා පවා ආයෙත් අර කිරි කැටි අවදියට යනවාය.පොළවේ  පය ගසා හිටි උදවිය හිටි අඩියේ එර්දියෙන් යන්නා වූ විදිහක් ය.කැමැත්තෙන් හෝ අකමැත්තෙන් උන්ට කුඩ අල්ලන්නට ,ගොටු අල්ලන්නට කඩේ යන්නට ,පස්ස  හෝදන්නට පවා පහළින් ඉන්නා උදවියට සිද්ධ වෙනවා ය.

තමන්ගේ කුඩේ තමන් තනියෙන් ඉහලාගෙන තමන්ගේ වැඩ තනියෙන් ම කරගෙන තමන්ම වාහනය පදවාගෙන තනියම ගෙදර යන බලවත් ගැහැණු මිනිස්සු  මෙතෙරත් එතෙරත් නැත්තා නොවේ.ඒත් බහුතරයක් කැමති තමන්ට කුඩ අල්ලනවා නම් ය.බහුතරයක්  ඉන්නේ කුඩ ඉහලන මානසිකත්වය ක ය.

කියන්නට තියෙන්නේ අතපය හතර හරි හැටි තිබේනම් තවකෙක් ගේ වහල් කම් බලාපොරොත්තු වෙන එක වෙන මොනවාටත් නොව ඒ ඒ ඇත්තන් ගේ හැදියාව බව ය.

කුඩ කතාව නිමියේ ය.