කරවනැල්ලේ ඉඳිද්දී බට්ටිට යන්නට කියා සෙල්ලම් පිට්ටනි තිබ්බේ දෙකක් විතරය.අඟුරුවැල්ලේ පිට්ටැන්න කවුරු හරි පඬිතුමෙක්ගේ උපදෙස් පිට බිමටත් සිමෙන්ති අල්ලා පිළිසකර කලාට පස්සේ ඒ පැත්තපලාතේ යෑම නවතිනවා ය.
මාරක ළිඳට නොදෙවනි ලිස්සන බෝට්ටුවකුත් බාගෙට බාගයක් කඩා වැටුනු රුවන්වැල්ලේ පිට්ටැන්න යාන්තම් ළමා දිනේ හින්දා පිලිසකර වුනායින් කරවනැල්ලේ ඉන්නා තෙක්ම වෙන සෙල්ලං පිට්ටනි ඕනෑ වුන්නැතිය .
කොළඹ සෙල්ලං පිට්ටනි ආකරයක් ය.ඉන්ඩෝ නං ඉන්ඩෝ ය .ගාන ටිකක් සැර වුනත් ඒවායේ කොලිටි සාපේක්ෂව හොඳ ය.
එළියේ තියෙන පිට්ටනි බොහොමයක කරවනැල්ලට වඩා වෙනසක් නැති ගානය.ඒත් සල්ලි ගෙවන්නට ඕනෑ නෑ ය.
විහාරමහාදේවි එකට ගියේ එක දවසය.කානිවල් දුසිමක සෙනඟ ය.සෙල්ලම් මාලිගාවල කෑලි හැලී එල්ලෙනවා ය.එනිසා ආයෙත් යන්නැති වග හිතා ගෙනය ආවේ.
ඒත් හවස හතරට විතර ඇරෙන වතුර මල් තිබ්බේ එහේ විතරය.කලින් දන්නේ නැති නිසාවෙන් වැඩිපුර ඇඳුමක් තුවායක් ගෙනිච්චේත් නැති ය.ඇඳන් ගිය ඇඳුම ගලවා යට කලිසම පිටින් වතුරට පැනගත් එක එක සයිස් වල පොඩි වුන් වතුර මල් අල්ලන්නට පොර කද්දී වතුරේ නටද්දී ඒකත් හරිම අපූරු ය.
විහාරමහාදේවි පාක් එක පුද්ගලික අංශයට පවරා දී මොඩිෆයි කර පොඩ්ඩෙක්ට පැයට හාරසීය ගානේ ටිකට් කඩන්නට යන කතාවකුත් ආරංචිය.
නගර සභාවේ පුටු එකක් ලක්ස ගානක් වෙද්දී පොඩි මිනිහාට යන්න තියෙන පාක් එක හදන්නට සල්ලි නැතිලු ය.
ජයවර්ධන පුර ඉස්පිරිතාලෙ හරියේ නිතර යන එන පොඩි පොඩ්ඩකුත් තියේ ය.ඒක අර තරමටම අබලං නෑ ය.එතරම් ම සෙනඟකුත් නෑ ය.වට පිටාව ටිකක් පාලු ගතියක් පෙනෙනා නිසා සතියේ දවස්වල යැවෙනවා අඩුය.
හෙන්රි ප්‍රෙදිස් ග්‍රවුන්ඩ් එකේ පිට්ටැන්න අබලං වී තිබී හැදුවේ ත් ළඟ දීය.සෑහෙන්න ඉඩත් තියේය.
ඩයිනසෝරයෙක් ගේ පිට දිගේ බහිනා අමුතු ලිස්සන බෝට්ටුව හින්දා බට්ටි එහේ යන්නේ ඩයිනසෝර් පාර්ක් යනවා කියමින් ය.
එකම කරදරේ තියෙන්නේ උඩ ඉගිලෙන කාක්කන්ගෙන් ය.කොයි වෙලේ ඔලුවට ඔම්ලට් අතාරීදැයි ශුවර් නෑය.
නුගේගොඩ සෙන්සාල් එකේ සෙල්ලං කාමරේ ගැන ඔත්තුව දුන්නේ එහේ අම්මෙක් ය.සෙන්සාල් එකත් හොයා ගත්තේ අමාරුවෙන් ය.එතන සෙල්ලං කරන්නට ඉඩක් තියෙන බව පිටින් බලද්දී හිතන්නටත් බැරිය. හාරසීයේ පන්සීයේ ඉන්ඩෝ තරං කොලිටි නැතත් ලොකු වරදක් නෑ ය.අත ළඟම කන්නත් ඇති හින්දා අම්මාට දෙයියන්ගේ පිහිට ම ය.
බට්ටී කැමති ම අලුතෙන් හැදූ බොරලැස්ගමුවේ කෙළිමඩලටය.ගෙවල් පාර දිගේ අම්මාගේ අතේ එල්ලී සෙල්ලං කරන්නට යද්දී වටපිටාවේ සරුංගල් බලන්නට නතර වෙන්නත් ඕනෑ ය.පැය ගානක් කුරුමානම් අල්ලා බට්ටිත් වඩා ගෙන අම්මා පාර පැනගත් විට "ගුඩ් ජොබ් අම්මා.." කියන්නත් ඕනෑ ය. ඊට පස්සේ ඉතින් සෙල්ලං ය.ටිකක් කම්මැලි හිතුනාම ලොකු මාමලා දුවන පාරේ වැලි අවුස්සන්නට ,වතුරට ගල් ගහන්නටත් තියේ ය.සෙල්ලං අහවර වෙලා අයිස් ක්‍රීම් කන්නත් ලැබෙන හින්දා තවත් සනීප ය.
ඉතින් ඉඩ ලැබෙන හැන්දෑවලත් සෙනසුරාදා ඉරිදාටත් අපි සෙල්ලමේ ය.
හුඟක් වෙලාවට පොදු පරිහරණයට හැදෙනා සෙල්ලං පිට්ටනි හදනා තැන ඉඳන්ම ලෙඩය.හදනා උදවිය තමන්ගේ ළමයි ගැනත් හිත හිත හැදුවා නං සති ය දෙක යද්දී කෑලි ගැලවී එල්ලෙන්නට විදිහක් නැත.මොකද ඒවායේ සෙල්ලං කරන්නේ හින්නික්කිතර පොඩි වුන් මිස අලි ඇත්තු නොවෙන හින්දා ය.
නඩත්තුවත් ඒ වගේමය.උපකරණ නඩත්තුව කොහොම වෙතත් පිට්ටැන්නේ තණකොළ ටික කැපෙන්නේත් වැරදිලා ඈතට සිංහරාජේ වගේ පේන්න ගත්තා ම ය.
ඒත් වැරැද්ද ඒ පැත්තේ විතරක් ම කියන්නටත් බැරිය.හෙන්රි පේද්‍රිස් ග්‍රවුන්ඩ් එකේ අඟලෙන් අඟලට කෑ බී ඒවායේ මතක සටහන් ය.
අඩියෙන් අඩියට කුණු දාන්නට භාජන තිබ්බත් අපේ උදවියට ඒවා ගාණක් නෑ ය.
ආබාධිත දරුවන්ට ක්‍රීඩා කරන්නට ඉඩක් හදා දෙනවා මුලින්ම දැක්කේ කෙළි මඬලේ ය.ඒ සංකල්පය අලුත් නිසාදෝ රෝද පුටුවෙන් යන පොඩ්ඩෙක් නං එහෙදී දැක්කේම නැත.
ඒත් ආබාධිත දරුවන්ට බව පැහැදිලිව සටහන් කර තියෙද්දිත් අපේ දරුවන් දුසිම් පිටින් ලෝඩ් කර න නිසාවෙන් ඒ දරුවන්ගේ සීසෝව කැඩුනු ගමන් ය.ඕක ආබාධිත ළමයින්ට යැයි සෙකුටිරි ඇන්ටිගේ කීමට ඈට ඔරවමින් ආබාධිත ළමුන්ගේ ඔංචිල්ලාව අපේ ළමයින්ට කතුරු ඔංචිල්ලාවක් කරගෙන ය.
ළමා කාලේදීම තරබාරුවන දරුවන්ගෙන් සියයට පණහක්ම වාර්තා වෙන්නේ ආසියාවෙන් ය.ඉස්සර වාගේ එළියට පැන නටන්නට දැන් පොඩි එවුන්ගේ ගෙවල්වල ගෙවතු මිදුල් නැත.
හරිහමන් සෙල්ලම් පිටියක් උන්ට හදා දෙන එක රට කරන ඇත්තන්ගේ වගකීමය.
හදා දුන් තැන තව පොඩි එකෙක්ටත් එන්න පුලුවන් හැටියට පරිස්සං කර ගැනිල්ල පොඩි උන්ගේ අම්මලා අප්පලා ගේ වගකීම ය.
No comments:
Post a Comment