ඉන්නේ එක මලයාය.ඌ නිසා තරම් කට්ටක් මෙලෝ කොල්ලෙක් නිසා කා නැත.මට වඩා අවුරුදු පහක් බාල වුනාට ඇඟ පතේ ප්‍රමාණයෙන් ගත් විට සූර පප්පාද ඌට බාල ය.ඒ නිසා මේ හාදයා එක්ක වලි දමා ගැනීම මගේ සරීර සෞබ්‍යයට අතිශය අහිතකරය.
ගිය අවුරුද්ද අග්ගිස්සේ මොටෝ බයිසිකලය හීනෙන් පදින්නට ගිය හාදයා නතර වුනේ මහරගම හරියේ කානුවකය.ඔෆිස් ෆෑන් එකක නඩයක් අපේ එකා කානුවෙන් ගොඩ අරගෙන තිබූ අතර ඉන් තුන්දෙනෙක් ම බැරි බර උස්සා කොන්ද ඇමැට්ටි වී අපේ එකා ඇඩ්මිට් කළ වාට්ටුවට ඇඩ්මිට් කළ බව ආරංචි ය .
මෙවන් සුවිසාල සරීර කූඩුවකට හිමිකම් කියන්නට පුලුවන් වුනේ අපේ එකා පොඩිකාලේ හිටම කැප වීමෙන් කෑ බිව් නිසාය.
අපේ ඉස්කෝලේ ප්‍රයිමරියට ගිය කාලේ ඉඳන් ම ඌ කලේ පිලිවෙතින් කෑ බිව් එකය.ඒ නිසාම ස්පෝර්ට්මීට් එකේ කෙල්ලෙක් එක්ක බිස්කට් කා දුවන්නට අපේ එකා තෝරා ගත්තේය.(බිස්කට් කෑමත් කෙල්ලන් ගේ අතින් ඇල්ලීමත් ඒ කාලේ හිටම අපේ එකාට හුරු පුරුදුය).කරුමෙට ප්‍රැක්ටිස් දවසේ මාරි බිස්කට් යසට කෑ කෙල්ල ස්පෝට්මීට් දවසේ වේෆස් කෑම වර්ජනය කළාය.අනිත් ජෝඩු ඔක්කෝම දිනුම් කනුවත් පහු කළ පසුත් අපේ හාදයා නෙවෙයි කෙල්ලට වේෆස් කවන උත්සාහය අත ඇරියේ.
තුනේ හතරේ විතර ඉදිද්දී දවසක හවස අපේ එකාගේ ගෙදර වැඩ ලිස්ට් එකට ටිපිට්පි පැකට් දෙකක් ද ඇතුලත් වී තිබුණි.අම්මාගේ විමසීම් අංශයට කොල්ලා තොරතුරු ලබා දී තිබුනේ පන්තියේ ටීචර් ටිපිටිප් ගේන්නට කී බවයි .පහුවදා හවස ගෙදර ආ හාදයා කිව්වේ ටීචර් ළමුන් ගෙනා කෑම ඔක්කෝම පන්ති කබඩ් එකට දමා වැසූ බවක් ය.කෙසෙල් වැනි කල් තබා ගත නොහැකි කෑමවලට කබඩ් එක තුල අත් විය හැකි ඉරණම ගැන අපේ එකා නොසෑහෙන දුක් වුන බවත් මට මතක ය.හොඳ වෙලාවට ඒ සතියේ ඉස්කෝලේම එලකියුශන් පන්ති තිබුන නිසා අපේ එකාගේ පන්තියේ ගෑනු දරුවෙකුගෙන් ටිපිටිප් දෙකේ ඇත්ත කතාව එලිවුනේ ය.අපේ එකා හැර වෙන ළමයෙක් ගෙනා කෙසෙලක් නොවුනු අතට කාටවත් නොදී ටිපිටිප් කෑවා මදිවාට කෙල්ලන්ගේ ඇඟේ පිහින්නට පස්සෙන් එළවූ බවත් ටිපිට්ප් නොලැබූමෙන් උරණ වූ ලලනාව අපේ අම්මාට ගතු කීම නිසා අපේ එකාට එදා ගෙදරදී හොඳ ටිපිට්පක් ලැබුණේ ය.
ඒලෙවල් විභාගය නිසා අවුරුදු නෑගම් යන්නට බැරි වුනු අහිංසක මට අල්ලපු ගෙදරකින් එවා තිබුනේ තඩි දොදොල් කුට්ටියකි.ෆිසික්ස් ක්ලාස් එකට ගෙනියන්නට තියා තිබුණු දොදොල් පට්ටය අතුරුදහන් වෙන්නේ විනාඩි කිහිපයක කාලයක් අතරේ ය.දොදොල් හොරා පසුව පාපොච්චාරණය කලේ හදිසිය වැඩිකමට පිහියක් නොමැතිව තෙල්හැන්දෙන් කපා ගෙන දොදොල ගිල දැමූ බවයි.
අපේ එකාගේ මෙවන් සුන්දර ආහාර පුරුදු නිසා ගෙදරට ගේන ඕනෑම කෑමක් හතරට බෙදා අපේ පංගුව කොහොම හෝ අමාරුවෙන් ගිල දමා අහවර කරන්නට අපට සිදු විය.නැතිනම් මලයාට අහු නොවෙන්නට හංගපු තැන්වලම එක්කෝ කෑම නිදන් වෙනවාය.නැතිනම් හංගපු කෑම ගැන පොලිස් බල්ලන්ටත් වඩා හොඳ ඉවක් ඇති මල්ලීටම ඒවා අයිති වෙනවාය.ෆ්‍රිජ් එකේ දාන අයිස්ක්‍රීම් ,කිරි එහෙම නම් රෑට අනිවාර්‍යෙන්ම අතුරුදහන් වෙනවාය.මේ ආහාර රටාව නිසා අපේ එකා බලා ඉඳියදී තඩි වෙන්නට ගත් අතර අන්තිමේදී එකේ පන්තියේදී සීනි කුරක්කමක් වාගේ හිටි එකා දැන් පොර අල්ලන්නට හැදූ ගොන් නාම්බෙක් සයිස් ය.
මොකද්දෝ හේතුවකට දැන් දැන් අපේ එකා කෑම පාලනය කරනවා,ජිම් යනවා කියා ආරංචි ය.හැබැයි ඉතින් දවස් කීයක ව්‍යාපෘතියක්ද කියන එකනම් ශුවර් නැත.දිගු කාලීන වෙනවා නම් ඉතින් සරීර සෞබ්‍යයට හොඳය .
මේ ලියමන පබ්ලිශ් වුනාට පස්සෙන් පහු මගේ සරීර සෞබ්‍යයට අයත් විය හැකි ඉරණම නම් විශ්වාස නැත. දේශපාලන රැකවරණ බලාපොරොත්තුවෙබ් බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට වත් යාම නුවණට හුරු ය.