Saturday, March 24, 2018

මම බය සත්තු

වැඩියෙන්ම බය මොන සතාටදැයි අහපු පෝස්ට් එකක් දැක්කේ ඊයේ පෙරේදා ය.කල්පනා කර බැලුවාම හැමෝගෙම අක්කා වාගේ හිටියාට මම බය නැත්තේ මගේ හෙවනැල්ලට විතරද කොහේද ය .

කැරපොත්තන්ගෙන් පටන් ගන්නා ඉගිලෙන කැත  කුරුමිණි වර්ගයා ඔක්කෝටම මම බය ය.ආච්චි අම්මාගේ කනේ කුරුමිණියෙක් රිංගා ගත් කතාවක් පොඩි කාලේ කණට වැටීමත් කන් බෙරය කාගෙන කාගෙන යන තඩි කුරුමිණියෙකු හිතේ ඇඳීමත් නිසා ඔය බය ඇතිවන්නට ඇති ය.ඒ කොහොම වුනත් ඉගිලෙන කැරපොත්තන් ,මී මැස්සන් හා පලා පෙත්තන් මගේ ලොකුම තරහ කාරයන් ය.කරවනැල්ලේ ඉඳිඳ්දී රෑට රෑට ගෙට රිංගන තඩි පලා පෙත්තා අල්ලා ඉවතට දාගන්නේ අල්ලපු ගෙදර ඇන්ටීට කණිපින්දම් කියා උන්දෑ අතට කොස්සක් දී කෙල්ලත් අරන් මම මිදුලට පැනැගෙන ය.දැන් නම් උත්තුංග දේහධාරී ඉගිලෙන කෘමි නාශක සුවාමි පුරුශයා ගෙදර ම ඉන්නා නිසා ඉගිලෙන කුරුමිනියන් මට කොකම් පානවා අඩු ය.

ගෙම්බනුත් මට පෙන්නන්නට බැරි ය.උදේ පාන්දර තාත්තාගේ වදෙන් බේරෙන්න්ට බාත්‍ රූම් එකට රිංගාගෙන දෙයියනේ කියා එතන පොඩි නින්දක් දාද්දී තඩි ඇස් ගෙඩි පුම්බාගෙන මගේ නිදිමත කුඩුපට්ටම් කරනවාය.එක්කෝ දොර  අස්සේ  රිංගා ගෙන දොරට අහු වෙනවා ය.ඔක්කෝටම හපන් ඇඟට පනිනා ගස් ගෙම්බන් ය.උන් මතක් වෙද්දිත් ඇඟ හිරිවැටෙනවාය.කරවනැල්ලේ හිටියදී  දවසක් මේ මල සමයමක් නිසා මටත් බට්ටීටත් මුලු රැයක් ම කාමර අඩස්සියේ ගත කරන්නට වුනා මතකය.

අපේ ගෙදර හිටි හැම බල්ලාටම මම බය ය.ගෘහ මූලික ලැයිස්තුවේ කෙල්ලට ඉහලින් බල්ලාගේ නම සටහන් බව දන්නා නිසා උන් මට හැමදාමත් දාන්නේ පල්පාට්ම ය.ජලභීතිකා එන්නත් විදගන්නට ආසාවකුත් නැති නිසා මම ඒ බලු රාලලාට ද බය පක්ශපාතීව ජීවත් වුනා මතක ය.දැන් ඉන්න බලු නාම්බා නම් සැරපාටක් නැත.ඒත් මොලේ කළඳක්වත් නැත.ඉතින් නීලමහායෝදයා සයිස් මේ හාදයා සෙල්ලමට ඇඟට පැන්නොත් අමතර කොටස් හොයන්න ට යන්න වෙන්නේ පංචිකාවත්තට ය.ඉතින් මෝඩයා නිසා ඌටත් මම බය ය.

සර්පයන්ට ඉස්සර බයක් තිබුණත් කරවනැල්ලේදී උදේ හවා හායි බායි කියූ නයි හාමිලා නිසා ඒ බය ඩිංගක් අඩු වෙලාය.ඒත් කෝකටත් කියා ඒ හාමිලා ආස්‍රය අට්ගේ දුරින් ය.බයකටම නෙවෙයි ගෞරවේට වගේ.

කොටිවලස්සු අලි වගේ සත්තු උන්ගේ ලෝකවලදී දැක් තියෙන්නේ රූප පෙට්ටියේ විතර ය.ඒ නිසා උන් ගැන තාමත් හිතේ එහෙමට කියා බයක් ඇත්තේ නැත.


ඔය ඔක්කොටම වඩා මම දෙපාසත්තුන්ට බය ය.උන් තරම් ලස්සන සත්තු ජාතියක් මිහිපිට නැතුවා වන්නට ඇත.ඒත් උන් තරම් ශුවර් නැති ජාතියක් ද නැති බවත් සීයට දෙසීයක් ශුවර් ය.කතරගම දෙයියන්ට මූණු හයක් විතරය .සමහර මිනිස් සතුන්ට මූනු දුසිම් හයකටත් වඩාය. කතාව පණ වුනත් දෙන්නට ය.ආපස්සට හැරුනොත් පිටට පිහි පාරක් සහතික ය.මෙහෙම මිනිස්සු එක්ක වසනවාට වඩා වනේ වනසතුන් එක්ක වාසය පණකෙන්දට යහපත්දැයි වෙලාවකට හිතෙනවා ය.
ඒත් වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ද ඉන්නා බව චන්ද්‍රලේඛා මහත්මිය ගයනවා ය.කතාව ඇත්තය.ඉඳහිට  එහෙව් වටිනා මිනිසුන් ද  මුණගැහෙනවා ය.එක අතකට ඒ ජීවිතයේ වටිනාකම හොඳටම දැනෙන්නේ නොමිනිසුන් අතරින් මතු වෙන නිසාවෙන් වෙන්නට ඇත


අපේ වෙද පිටුවට ලියපුවා

මෙහෙම කළොත් බෙහෙත්
වෙන්න හැකිය විපත් -1

කතා අංක එක:

කන්තෝරුවෙදි නිමල්ට දරා ගන්න බැරි බඩේ අමාරුවක් හැදෙනවා.ඉවසාගෙන ඉන්නම බෑ.හාෆ් ඩේ එකක් දාලා ඉස්පිරිතාලෙ යන්න  යද්දි අල්ලපු මේසෙ ඉන්න කමල් මෙහෙම උපදෙස් දෙනවා.

"හාෆ් ඩේ එකක් නාස්ති කරං බෙහෙත් ගන්න  යන්න ඕන නෑ.ගිය සතියෙ මටත් ඔය විදිහෙම තද බඩේ කැක්කුමක් හැදුනා .වමනෙත් ගිහින් උණත් ගැණුනා.අපේ ෆැමිලි ඩොක්ටර් දීපු බෙත්තට ටක් ගාලා අඩු වුනා.හිටහන් මගේ බෑග් එකේ ඇති මම දෙන්නං .ඕක අඩු වෙලා යයි."
.........................

බෙහෙත්.
කැමැත්තෙන් බොන කෙනෙක් නම් හොයාගන්න බොහොම අපහසුයි.නමුත් ඉතින් සමහර අසනීප සුවවෙන්නට බෙහෙත් ඕනෑම වෙනවා.

මේ කතා කරන්න ට යන්නෙ බෙහෙත් අවභාවිතයෙන් ඔබට විය හැකි අනතුරු ගැනයි.

ඇතැම් විට ඔබත් කවදාක හෝ නිමල් වගේම තමන්ගේ අසනීපයකට වෙන කෙනෙක් වෙනුවෙන් නිකුත් වුණු බෙහෙත් පෙත්තක් බීලා ඇති.නැත්නම් කමල් වගේ තමන්ට වෛද්‍යවරයෙකු නියම කළ බෙහෙතක් වෙන කෙනෙක් හා බෙදා හදා ගෙන ඇති.ඇතැම් විට ඉන් අසනීපය සුව වූවා වගේම වෙන කිසිදු අතුරු ආන්තරාවක් නොවෙන්නත් ඇති.

        ඉතින් එහෙනම් ඇයි ඒ ගැන අපි මෙහෙම කතා වෙන්නෙ?

කාරණා බොහෝමයක් නිසායි.

අසනීපයකට ඔබට ලබා දෙන මුඛ මාර්ගයෙන් හෝ ආලේපන හෝ වෙනයම් ඖෂධයක් ඔබට ලබා දීමේ දී වෛද්‍යවරයෙකු සැලකිලිමත් වන කරුණු කිහිපයක් තිබෙනවා.

ප්‍රධාන ම කාරණා වන්නේ
  ලබා දෙන ඖෂධ ය කුමක්ද?
 කුමන මාත්‍රාවකින් ,කොපමණ කාල පරාසයක් තුළ ,දින කීයක් මෙම ප්‍රතිකාර ලබා දිය යුතුද? යනාදියයි.

එකම රෝග ලක්ශනය විවිධ රෝග සඳහා ඇති වන්නට පුලුවන් .උදාහරණයක් වශයෙන් නිමල් ගේ බඩේ කැක්කුම ආහාර අජීරණයක්, මුත්‍රා මාර්ගයේ ගල් , ඇපෙන්ඩිසයිටිස් හෝ වෙනත් හදිසි ශල්‍ය කර්මයකට යොමු විය යුතු අසනීපයක් වෙන්නත් පුලුවන්.මේ එක් එක් අසනීපයට කරන ප්‍රතිකාර එකිනෙකට වෙනස්. එකම රෝග ලක්ෂණ තියෙන නිසා වෙන කෙනෙකුගේ බෙහෙත් පාවිච්චියෙන් ඇතැම් විට ඔබේ රෝගය සුව වෙන්නට පුලුවන් .නමුත් ඔබට ඇත්තේ වෙනත් රෝගයක් නම් නුසුදුසු ඖෂධ භාවිතයෙන් ඔබේ රෝගය උත්සන්න වීමටත් හැකියි.සිදු විය හැකි තවත් ගැටලුවක් වන්නේ  වෙනත් ඖෂධ භාවිතයෙන් රෝග ලක්ෂණ යටපත් වුනත්  රෝගය සුව නොවීමයි.මෙහිදී ඔබ පසුව වෛද්‍යවරයෙකු වෙත යොමු වුනත් ඔහුට රෝග විනිශ්චයකට පැමිණීම අසීරු වෙනවා.

බොහෝ විට පෙති වර්ග හා දියර වර්ග මාත්‍රාව නියම වන්නේ රෝගියා ගේ බර අනුවයි.වැඩිහිටි පුද්ගලයෙක් හට ලබා දෙන ඖෂධ මාත්‍රාවක් කුඩා දරුවකුට සුදුසු වන්නේ නැහැ.එමෙන්ම මේ ඖෂධ ශරීරය තුළ නියමිත කාර්‍යය සිදු කළ පසු සිරුරෙන් බැහැර කිරීම සඳහා අක්මාවේත් වකුගඩුවලත් ක්‍රියාකාරීත්වය අවශ්‍යයි .මෙම අවයවවල රෝගී තත්ව පවතින රෝගීන්ට ඇතැම් විට අඩු මාත්‍රාවකින් ඖෂධ ලබා දෙන අතර ඇතැම් ඖෂධ එසේවත් ලබා දිය නොයුතුයි.එවැනි රෝගියෙකු සාමාන්‍ය පුද්ගලයෙක් වෙනුවෙන් නිකුත් කළ ඖෂධ මාත්‍රාව ගැනීමෙන්  ශරීරයෙන් ඖෂධ බැහැර කර ගැනීමට අපොහොසත් වීම වැලැක්වීමට නොහැකියි.

ඇතැම් ඖෂධ වර්ග සිරුරට හුරු කරවන්නේ කුඩා මාත්‍රාවකින් පටන් ගෙන ක්‍රමයෙන් මාත්‍රාව ඉහළ දැමීම මගින් ය.එසේ  සිරුර ඊට හුරු වීමෙන් පසු ඉහළ මාත්‍රාවක ඖෂධ ලබාගනිමින් සිටින අයකුගේ ඖෂධ මාත්‍රාව වෙනත් පුද්ගලයෙක් එක් වරම භාවිතා කිරීම නිසා සිරුරට හානිදායක වීමට ඇති ඉඩකඩ ඉතා ඉහළයි.

මේ ආකාරයටම විවිධ රෝග පවතින රෝගීන්ට එම රෝගී තත්වය අනුව  සාමාන්‍ය ඖෂධ වර්ග භාවිතා කිරීම නුසුදුසු යි.එවන් අවස්තාවක දී වෙන අයකුගේ ඖෂධ භාවිතා කිරීම නිසා
1.  මෙතෙක්  ප්‍රතිකාර ගනිමින් සිටි දිගුකාලීන රෝගවල ප්‍රතිකර්මවලට වන අහිතකර බලපෑමෙන් ඒවා උත්සන්න වීම

2.දිගුකාලීන රෝගය හෝ එහි ප්‍රතිකාර මඟින්  ඔබ අවභාවිතා කල ඖෂධ ය මත සිදු කෙරෙන බලපෑම් නිසාවෙන්  අලුතෙන්ම රෝගය උත්සන්න වීම හෝ සුව නොවීම

 3.නව ඖෂධ ය  දිගුකාලීනව පැවති රෝගී තත්වය හෝ එහි ප්‍රතිකාර  සමඟ ප්‍රතික්‍රියා කිරීමෙන් විවිධ අතුරු ආබාධ ඇති වීම යනාදිය  සිදු විය හැකියි.

වෛද්‍යවරයෙකු ඖෂධ නිර්දේශ කරන්නේ අදාල රෝගියාගේ අසාත්මිකතා ඉතිහාසය පිළිබඳව සලකා බලායි.එසේ නොමැතිව වෙන අයෙකුගේ ඖෂධ භාවිතයේ දී ඔබට අසාත්මික විය හැකි ඖෂධ ශරීරගත වීමට ඉඩක් තිබෙනවා
 ආසාත්මිකතා ඇති වීමේ ප්‍රවණතා ඇති අයට  වෙන අයකුගේ ඖෂධ භාවිතා කිරීමෙන් ආසාත්මිකතාවන්ට ගොදුරු වීමේ ඉතා ඉහළ අවදානමක් පවතින අතර ඇතැම් විට මෙවන් ආසාත්මිකතා මරණයෙන් කෙළවර වෙන්නටත් පුලුවන් .

සාමාන්‍ය පුද්ගලයෙක් සඳහා ලබා දෙන ඇතැම් ඖෂධ ගර්භනී හෝ කිරිදෙන මවු වරුන් භාවිතා කිරීම කිසි සේත් නොකළ යුතු වෙනවා.
ඒ ඇතැම් ඖෂධ වර්ග මගින්
1. කුසේ වැඩෙන කළලයට අහිතකර බලපෑම් ඇති කිරීමත්
2. මවු කිරි හරහා එම ඖෂධ කුඩා දරුවන්ගේ ශරීරගත වීමෙන් වර්ධනයට අහිතකර බලපෑම් කිරීමේ අවදානමක් තිබීමත් නිසාය.

මෙලෙස ම ඇතැම් ඖෂධ වර්ග යම් වයස් සීමාවකට අඩු දරුවන් සඳහා නිර්දේශ වන්නේ නැහැ. දරුවන් කිහිප දෙනෙක් සිටිනා නිවසක එකම අසනීපය සඳහා වුවත් එක් දරුවෙකුට ලබා ගත් ඖෂධ වෛද්‍ය උපදෙස්වලින් තොරව අනිත් දරුවන්ට ලබා දීම නුසුදුසු බව මින් පැහැදිලි වනවා ඇති.

ඇතැම් ඖෂධ වෙනත්  ඖෂධ සමඟ පමණක් නොව විවිධ ආහාර සමඟත් ශරීරය ට හානිකර ප්‍රතිකියා කිරීමේ අවදානමක් පවතිනවා.එවන් ඖෂධ ලබා දීමේදි වෛද්‍යවරයා ඒ පිළිබඳව රෝගියා දැනුවත් කරනවා.නමුත් වෙනත් අයකු වෙනුවෙන් නිර්දේශ වූ ඖෂධ  ගැනීමේදී ඔබට ඒ තොරතුරු නොලැබී යාමට ඉඩ තිබෙනවා.එලෙසම ආහාර ගැනීමට පෙර හෝ පසු යනාදී ලෙස සහ ඖෂධත් ආහාරත් අතර තිබිය යුතු විශේෂ පිළිවෙත් පිළිබඳව උපදෙස් නොලැබී යාමෙන් නව රෝගය ට නියමිත ප්‍රතිකාර  නොලැබීම ,හෝ රෝග උත්සන්න වීමට හැකියාවක් තිබෙනවා.

යම් ඖෂධ භාවිතා කරන වේලාව තීරණය කිරීමත් තීරණාත්මකයි.උදාහරණයක් වශයෙන් ඖෂධ ය භාවිතයේ අතුරු ප්‍රතිඵලයක් ලෙස නිදිමත ගතිය ඇති වන ඖෂධයක් උදෑසන භාවිතය දීම කෙරෙන්නේ නැහැ.එමෙන්ම  රිය පදවන  තැනැත්තෙකු එවන් නිදිමත ගති වැඩිවන ඖෂධ භාවිතය අවදානම් සහගතයි.වෛද්‍යවරයෙකු ඖෂධ ලබා දීමේදි රෝගියාගේ තොරතුරු විමසා මෙවන් අවදානම් අවම වන පරිදි ඖෂධ ලබාදුන්නත් හුවමාරු කරගත් ඖෂධ වලින් මෙවන් අතුරු ප්‍රතිඵල ඇති වන බව ඔබ නොදැනීමෙන් අනතුරු ඉහළ යාමට  ඉඩ තිබෙනවා.

මීට අමතරව වෙනත් ඖෂධයක් ගෙන ආ බඳුනක ඖෂධ ගබඩා කිරීම,එක හා සමාන නම් හෝ බාහිර පෙනුම නිසා ලබා දෙන තැනැත්තාට සිදු වන අත් වැරදීම් ආදී හේතු නිසා ඔබගේ ජීවිතය ට විය හැක්කේ විශාල හානියක්.

ඒ වගේමයි ඇතැම් ඖෂධ විශේෂයෙන් ම ප්‍රතිජීවක ඖෂධ හිතුමතේ නියමිත කාලයක් නොමැතිව වරක් දෙවරක් භාවිතයෙන් ප්‍රතිජීවක සඳහා සංවේදීතා ඇති වීමෙන් මතු රෝගී අවස්ථාවක එම ඖෂධ ඔබට සාර්ථක ලෙස භාවිතා කිරීමට ඇති හැකියාව නැති වෙන්නට පුලුවන් .

රෝහලට හෝ වෛද්‍යවරයෙකු මුණගැසී ඖෂධ ලබා ගන්නවාට වඩා හදිසියකට පෙත්තක් ඉල්ලා ගැනීම එතරම් දෙයක් නොවෙයි වාගේ පෙණුනත් ලෙඩ එක දෙක වෙන්නටත් නැති ලෙඩ හැදෙන්නටත් පාර කැපෙන්නට බැරි නැති බව දැන් ඔබට පැහැදිලි යි.

රෝගයක් වැළදීමට පෙර  ඉන් මිදෙන්නට ප්‍රවේශම් වීමත් රෝගී වූ විට වෛද්‍ය උපදෙස් පරිදි නිසි ලෙස ඖෂධ භාවිතා කිරීමත් මගින් ලෙඩදුක් වලින් ඔබ දුක් වීම වලක්වා ගන්නට පුලුවන් වෙනවා සහතිකයි.

Saturday, March 3, 2018

සත්තු කරුණාව

අම්මාගේ තාත්තා ගැන මට තියෙන ජීවමාන එකම මතකය අඹ ගස් වනසන රිළවුන් ට කැටපෝලෙන් විදින එක ය.ආච්චිලාගේ ගෙදර වල්ටේශන් බලු රැලක් ම ජීවිතය ගෙන ගිය තැනකි.අහළ ගෙදරකින් පැමිණ ගෙදර බල්ලන්ගේ බත් පිඟාන ඔසවාගෙන කැලෑ වදින  නිසාවෙන් හැන්දෑවේ බුදුන් වැද අහවර වූ විට "සැලීලාගේ බල්ලා හැර අනිත් සියලුම බල්ලෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා "යනුවෙන් සීයා මෙත් වැඩූ බව කියන්නේ අම්මාය.

අම්මාගේ එකම අයියා වුණු මාමාත් සෑහෙන සත්ව කරුණාව ඇත්තේ මය.ගෙදර හිටි බලුතඩියෙක් නාවන්නට වැවට ගෙන ගොස් වැව මැද ඉන්නක ගැට ගසා ගිය මාමා හත් අවුරුද්දකින් පසු දෙලෝ රත්වී ගොස් බලද්දී බලු තොමෝ නා පිහිනා බැරිම තැන දියබත් වී මිය පරලොව ගොස් ය.

ගමේ ගිය දවසට අත්තම්මා බල්ලන් නාවන රාජකාරිය අපි හැමෝම කැමැත්තෙන් අත ගහන පුණ්‍යකර්මය ක් ය.නාන්නට ඇති කැමත්ත කොතරම් දැයි කියනවා නම් නාවන්න යන්නට ගැටගහගත් බලු තඩියන් දම්වැල කෙළවරේ එල්ලුනු අත්තම්මා ද ඇදගෙන වත්ත පහළ බෑවුම දිගේ රූටා යන්නේ එහෙමවත් බේරෙන්නට  හිතාය.ඒත් බෑවුමේ රූටා පශ්චාත් භාගය ලෙලි ගියත් බලු නෑවිල්ල අත අරින්නේ අත්තම්මා නම් නොවේ.

අත්තම්මා ගේ සත්ව කරුණාව අම්මාටද අඩු නැතුව පිහිටලා තියෙනවා ය.යන යන හැම ඉස්කෝලයකම නඩත්තු කල කොලු හා බලු පරපුරට අමතරව ගෙදර හදාගත් බලු නඩේ අතේ ඇඟිලි ගානටත් අඩු ය.හැබැයි උන්ගෙන් අපිට සිදු වූ තාඩන පීඩන හිමාලයටත් වඩා උස ට අදටත් පපු කඳේ ය.දැනට ගෙදර විරාජමානව සිටිනා ගලගණ්ඩයෙන් හා මන්ද මානසිකත්වයෙන් පෙලෙන බලු තඩියා නිසා ඇති කරදර විතරක් වෙන ම පොතක් ලියන්නට බැරි කමක් නැත.

බලු තඩියන් මදිවාට කොහෙන්දෝ පැමිණි පූසියෙක්ට දැක්වූ කරුණාව නිසාවෙන් මාතර ගෙදර පූස් හොස්ටල් එකක් වුණේ ඉබේට ම ය.අත්තම්මලා අම්මලා දූලා මිණිපිරීලා එකවරම බඩ වීමෙන් වතාවක් අප්‍රේල් දාහතර වෙනිදා අපේ ගෙදර පූස් පැටවු විතරක් දා හතරක් ය. ඒ ගානට ඇස් වහ කටවහ වැදේ යැයි හිතූ අපේ මලයා පොඩි රාහුලේ හිටි පූස් නාම්බෙකුත් බෑග් එකේ දමා ගෙන ගෙදර ගෙනැවිත් පූසන්ගේ වස් දොස් ඇරියේ ය.
පොඩි පැටවු නැලවීම ,ලොකු එවුන්ගෙන් කෑම පරක්කු වී බැණුම් ඇසීම, වටපිටාවේ වුන්ට පාට් දාන්නට ගොස් තුවාල වූ විට අල්ලාගෙන කහ,මිරිස් ගැල්වීම,හොර තක්කඩි බළලුන්ගෙන් අපේ අහිංසක පූසියන් පරිස්සම් කිරීම,අපේ පූසියන් සරණ පතා පැමිණ ළිඳේ වැටුනු බළල් තඩියන් ගොඩ ගැනීම ඒ කාලේ අපේ වැදගත් ම රාජකාරි කීපයක් ය.
ඊට අමතරව අපේ මළයා ට වෙන්වූ විශේෂිත කාර්‍යයක් වූයේ පිටුපස මිදුලේ වැලලූ කොට්ටම්බා වෙනුවට බළල් ටොයිලට් හාරා තාත්තාගෙන් ගුටි කෑමය.

ගෙවල් මාරු කිරිල්ලත් එක්ක පූස් පරම්පරාවට සමු දුන් අපේ ඇත්තෝ ඊළඟට පෙම් බැන්දේ කුකුළන් ටය.හුණුකොටුව හන්දියේ මරන්නට හිටි කුකුළ් ජෝඩුවක් අපේ මලයා ගේ පෙරැත්තය නිසාවෙන් ගෙදර  ගෙනැවිත් උන් ඉඩම පුරා උමං හාරාගෙන චිකන් රන් සිනමා පටිය රඟපාද්දී   අපි කුලී ගෙදරින් එළියට විසි නොවුනු එක පුදුමය. ඒ කුකුල් ජෝඩුව වෙනුවට පොඩි බට් කුකුල් ජෝඩුවක් කැන්දාගෙන ආ පසු අපේ ගෙදර උන්දැලා මුහුණ පෑවේ තවත් අවුලකට ය.කිකිළි බිත්තර දමා තවත් කුකුල් ජෝඩුවක් නිවසේ පදිංචියට ආ අතර තාත්තලා පුතාලා පොර කා ගද්දී අනවසර කුකුල් පොර පිටියක් පවත්වා ගෙන යාම නිසාවෙන් පොලිස් කූඩුවේ ලගින්නට වේ යයි බියෙන් ඒ කුකුල් සමාගමට ද තිත තබන්නට සිදු වේය.

අම්මාගේ සත්ව කරුණාව වැඩි හැන්දකින් බෙදී ඇත්තේ මල්ලීටය.පොඩි රාහුලේ ඉඳිද්දි ඉස්කෝලේ කලින් ඇරුණාම උන්දෑ ඉමහත් වූ දයාවෙන් මන්තින්දේ කානුවේ උන් මාලු රංචු  අල්ලා ගෙන විත් රාහුලේ වතුර නැති කාණුවල ඇති දැඩි කළේ ය.බෑග් එකේ දමා ගෙන ආ බළලාට අමතරව සාක්කුවේ දමාගෙන ඉබ්බෙක් ගෙනාවේද ඒ සත්ව කරුණාවෙන් ම ය.තුනේ පන්තියේදී විතර මනමාලියෙක් ඉල්ලමින් සැලූන් ඩමියක් පතා ඇඬූ මේ කොලුවා ලොකු වුනු පසුත් තව සෑහෙන සතුන් නඩත්තු කරන්නට උත්සාහ නොගත්තේ ම නැත.
කොහොමින් කොහොම හරි සකල ලෝවැසි සත්වයාට කරුණා මෛත්‍රිය පෑ පින් බෙලෙන් ඒ සත්වයා හදා වඩා ගැනීමට ද ස්ත්‍රී රත්නයක් ඉදිරිපත් වී ඇත්තේ පෙර කළ කුසල් අකුසල් බලයෙන් ය.
ඒ සුභ දිනය ළඟදීම උදා වී එතෙක් කල ඒ නොදරුවා හදා වඩා ගත් පියාණන්දෑට ඉසිඹුවක් ලැබේවා (ඉන් පසු උන්දෑ මගේ කෙල්ල බලා කියා ගන්නටම කැප වෙත්වා)යන්න මේ දිනවල මගේ ඒකායන පැතුම යි.

ප.ලි: කතාව වෙන ම පැත්තකට ගියා ද මන්දා..

Sunday, February 18, 2018

කුණු කුණු ගෑවෙන කුණු

ඉස්කෝලේ වත්තේ ලොකු කුණු ගොඩක් තිබුණේ ය.හැමදාමත් අතු ගාලා අහවර වුනාම හවසට පන්තියේ ඩස්බින් එක කුණු වලට හලන්නට ට්‍රිප් එකක් ශුවර් ය.හැමදාම පුච්චන නිසාදෝ ඒ කුණු වලේ එච්චර් ගඳක් තිබුනා මතක නැත.

අම්මාට පින් සිදු වෙන්නට පොඩි කාලේ ගෙදර කුණු කවදාවත් ප්‍රශ්නයක් වුණු බවක් මතක නැත.දිරන නොදිරන කුණු වලට අම්මා මොකක් කළාදැයි දන්නේ අම්මාත් උඩ ඉන්න දෙවියනුත් විතර ය.පස්සේ කාලෙක නම් තාත්තා කොල පාට කොම්පෝස්ට් භාජනයක් ගෙනාවේ ය. ඒ අස්සෙන්ම අම්මා කුණු ගොඩක් ගිනි තැබීමේ ආනිසංසයෙන් දැන් අපිට ඇඹරී ගිය මොඩලයෙර් කොම්පෝස්ට් බඳුනක් තිබේ.

කුණු ප්‍රශ්නයක් වෙන්නට ගත්තේ කරවනැල්ලේ පදිංචියට ගියාමය.ගෙදර කාමර ,වටපිටාව බැලුවත් කුණු දාන තැනක් ගැන අහන්න අපිට කල්පනාවක් වුනේ ම නැත.ප්‍රාදේශීය සභාවෙන් කුණු ගෙනියන කරත්තය එන්නේ මහ පාරේ විතර ය.අපේ පාරේ උදවිය ගේ පුරුද්ද පාලු ඉඩමකට හා ඒ අසළ පාරට කුණු අත ඇර යාමය. වට පිටාවේ නහයක් තියා ගෙන හිඳිල්ල බොරු ය.වැස්ස දවසට පාර එකම සුප් හැලියක් ය.කුණු ගොඩ අද්දර කඩ පොඩ්ඩේ බවලතිය පැවසුවේ සනීපාරක්ෂක තුවා අසළ පන්සල් වත්තට ඔසවා ගෙන දුවන බලු රැල පස්සෙන් හඹා යනවා හැර උන්දෑට වෙන වැඩකට වෙලාවක් නැති බවය.
දවසක් දෙකක් උදේ පාන්දරම කුනු මල්ල විසි කර ආවත්  ඒ වැඩේට හිතට ගැලපෙන්නේ නෑ ම ය.ඊළඟ දවසේ තඩි කුණු මල්ලත් තබාගෙන තාර පාර ළඟ බලා හිටියේ කුණු කරත්තය එන තුරුය.කුණු කරත්තයේ සේයාවක්වත් නැතුව වේලෙන වා මදිවාට දන්නා කියන උදවිය මගේ දිහාත් කුණු මල්ල දිහාත් බලබලා යන යෑම ඔක්කොටම හපන් ය.එදාත් කුණු මල්ල පාරටම අත හරින්නට වෙනවා ය.

ඔහොම යද්දී එක දවසක් ආරංචියක් එන්නේ කුනු කරත්තය අයිති හාදයා හවසට ඕක ගාල් කරන්නේ ඉස්පිරිතාල වත්තේ බවය.බැලුවාම වැඩේ ඇත්තය.පහුවදා උදේ කුණු කරත්ත හිමියා වැඩ පටන් ගන්නට එද්දී කොහෙන්දෝ කුණු මල්ලක් කරත්තයට සැපත් වෙලාලු ය.

දොස්තර නෝනා කුනු මලු උස්සාගෙන ටවුම පුරා යාමෙන් තමාට අගතියක් වේ යැයි සිතූ නිසාවෙන්දෝ ගෙදර අයිති ඇත්තෝ වහාම ඉදිරිපත් ව දිරන කුණු සඳහා කොම්පෝස්ට් බඳුනක්ද අනෙක් කුනු පුච්චන්නට පහසුකම් සලසා දෙන්නේ ඔය අවුඅස්සේය.ඉතින් කුණු ට්‍රිප් එක නවතිනවා ය.

 ඉතින් කුණු බෝලය පාස් වෙන්නේ වැඩට ආ පත්මා ඇන්ටිටය.මැස්සන් හා දුගඳින් ගැලවෙන්නට කොම්පෝස්ට් බඳුන තියෙන්නේ ගෙයින් ඈත හද්දා කැලේක ය.නයි හාමිලා නිතර සරන ඉසව්වක කොම්පෝස්ට් බඳුන මුණ ගැහෙන්නට යන්න වෙන්නේ දිවි පරදුවට තබා ය.ඉතින් හුළගට කොළ හෙලවෙන සද්දයක් ඇහුණත් එදාට ඇන්ටිගේ කුණු ට්‍රිප් එක කැන්සල් ය.

අලුත් ගෙදර බලන්න ආ මුල්ම දවසේ ම කුණු ප්‍රශ්නය ගෙහිමියන්ට ඉදිරිපත් කළේ කුණු කුණුනම් ගේ ත් එපා කියන්ට හිතා ගෙනය.ප්‍රාදේශීය සභාවෙන් කුණු ගෙනියන බව පිළිතුරු ලැබුණාම  හිතට මාර ම නිදහසක් ය.
පසුව කළ විමසීමෙන් සොයා ගත්තේ අඟහරුවාදා ට ඉඳුල් ,කෑම ජාතිත් සෙනසුරාදා ට ඔක්කොමත් ගෙනියන්නට කුණු ලොරිය එන බව ය.වැඩේ හරිම ලේසි පාට ය.

ඇවිදින් දැන් මාසෙකට කිට්ටුය.කුණු ලොරියේ උදවිය හැංගිමුත්තන් සෙල්ලමට දස්ස බව දැන් හොඳටම පැහැදිලිය .පළමු සතියේ කුණු ලොරියට පෙර බලු හාමිලා කුණු ගෙන යාම භාර ගැනීමෙන් තාත්තාට පාර පුරා කුණු අහුලන්නට සිදු වීය.සතියකුත් කුණු ලොරිය මුලිච්චි නොවීම නිසා අන්තිමේදී කොම්පෝස්ට් බඳුනක් අලුත් ගෙදරටත් කැන්දාගෙන ඒම උත්සවශ්‍රීයෙන් සිදු කලේ දෙවන සතියේ ය.රජයේ නිවාඩු,චන්ද නිවාඩු ,අව්ව වැස්ස ආදී සියලු හේතු මත කුණු ලොරියේ එන්ජිම ඇණ හිටින නිසාවෙන් මේ වෙනකන් උන්දැලාට දෙන්න පුලුවන් වුනේ එකෝම එක කුණු මල්ලක් විතරය.
තව ටික දවසක් ඉස්සරහ මිදුල කළු කුණු මලුවලින් වැහෙන එක නවතන්නට නං මට ආයෙම සැරයක් කුණු ලොරිය නවත්තා තියෙන තැන හොයා ගෙන යන්නට වෙයි වගේ ය.
කුණු ලොරියේ මාමලා ට ජය වේවා!

Monday, February 5, 2018

කුමාර වන්නම

උදේ හීතලේ ඇහැරන්
මං හදනා තේ මසුරන්
බොන්නට මං තුරුලු කරන්
කුමාරයෙක් හෙව්වා මං

කඩිමුඩියේ වී ලැහැස්ති
බත් ගෙඩියත් මල්ලේ ඇති
වැඩට දුවමු හැල්මේ නිති
කුමාරයෝ මට නම් හති

ඔෆිස් එකේ වැඩ බෝයා
බොසා එහෙන් හිස කෑයා
මොබයිලයෙන් දුක් ගීයා
කුමාරයාටම කීයා

දවල් කෑම කෑවාදෝ
අද හතරට එනවාදෝ
රෑට කොත්තුවක් කමුදෝ
මේ කුමරා මගේම දෝ
 
හිත බරටයි හිස රිදිල්ල
පෙති බිව්වට නෑ ඇරිල්ල
නළලත සිපගත් ඇසිල්ල
කුමාරයා  කරයි මෙල්ල

ලෙඩට දුකට අම්මා මයි
තාත්තාගේ පරිස්සමයි
කළණ මිතුරුදමුත් පුරයි
මගේ ලොවම කුමරු නුඹයි

Sunday, February 4, 2018

දුවපු දිවිලි

ඉස්කෝලේ යන කාලේ පිට්ටනි වටේ දිවිල්ල මට එපාම කරපු වැඩක් ය.නවයේ ඉන්දැද්දි  ස්පෝර්ට් මීට් එහෙකින් දිනපු පවට කොට්ඨාස තරඟවලට යන්නට කියා හැමදාම උදේ උයන්වත්ත ග්‍රවුන්ඩ් එක වටේ දුවන්නට උනේය.හෙල්ල කවපෙත්ත දාන එකා මොන රෙද්දකට පිට්ටනි වටේ දුවනවා ද නොදනිතත් ලාල් සර්ට බයේ ඉතින් මාත් දුවනවා ය.ආයෙත් ඉස්කෝලේ යන්නේ දාඩිය පෙරාගෙන ය.

හොකී ප්‍රැක්ටිස් තිබුනේ හවස් වරුවට ය.විවිධාකාර හේතු නිසාවෙන ප්‍රැක්ටිස් යන්න හිත තිබුණත් දුවන්නට ගියාම නං හිත දුවන්නේම ආපස්සටය.සර් බලාගෙන නැත්නම් හීං සැරේම දුවන රවුම පොඩි වෙන අටපට්ටම් වෙන වගේ සෙල්ලම් අපි ඉගෙන ගන්නේ ත් ඔය කාලේ  මය.

කැම්පස් ආවාමත් ගැලවිල්ලක් නෑ ම ය.කැම්පස් එක මැද්දෙ ගල් අඟුරු ධාවන පථය ය.රැග් කරන කාලේ කියපු විදිහට නම් සපත්තු නැතිව දිව්වොත් කකුල් දණහිසට යනකං ගෙවෙනවාය.ෆ්‍රෙශර්ස් මීට්,ෆැකල්ටි මීට්,එකී නොකී ඔක්කොම මීට් අපේ වුන් දිව්වේ වැඩිමනත් දුවලා පුරුද්දට නොව බැච් ෆිට් එක නිසා හිතේ හයියෙන් ය.
ජීවිතේට කඬුලු නොපැනපු බැචියෙක් කඩුලු පෙරලාගෙන ගල් අඟුරු කට්ටේ දණහිස් ලෙලි යද්දීත් දිගටම දිව්වා මතක ය. අටසීය දුවන බැචියන් දෙන්නා පස්සෙන් මුලු බැච් එකම වාගේ දුවපු නිසා වෙන සංවිධායක මණ්ඩල වැටුනේ හරිම අමාරුවක ය.සහායට දුවන්නන් ධාවන පථයෙන් අයින් වෙන්නැයි යකඩ කටින් කිහිපවතාවක් ම මරළතෝනි දුන්නත් අපේ එවුන්ට ඒවා කිව් වෙලේ කරන්නට තිබ්බේ බීරි අලියෙක් හොයා ගෙන ඌට කියන එක ය.මීටර් සීය දුවපු  රූමි දුවද්දී නම් අපේ උන් මීයට පිම්බා සේ ය.මක් නිසාද යත් ඉතා දුර්ලභ ගණයේ ටියුබ් ලයිට් එකක් වූ ඈ  අපි චියර් කරද්දී නැවතී සිනාවෙන්නට ඉඩ තිබුනු නිසා ය.

කැම්පස් හොකී ගැහිල්ලත් ඉස්කෝලෙ කාලෙ වගේ මය.දිවිල්ල තණ බිස්සේ ය.රවුමක්නම් ජීවිතේට දුවන්නට නැත.බිත්තරයක් හෝ අටපට්ටම් දුවා හති අරින අපේ ෆිට්නස් කැලේ ය.

කැම්පස් යන තුරුම එපා වාහෙට හොදි බෙදනා සේ දිව්වත් අවුට් වුනාට පස්සේ දිව්වේ අපේ උවමනාවට ය.ඉන්ටර්න් අහවර ගෙවුනු සංක්‍රාන්ති සමයේ බැචෙක් ඇදගෙන දුවන්නට ගියේ කාපු බීපුවා පිච්චිලා යන්ට ය.ඌ දිව්වේ රෑට ගිහින් හිතේ හැටියට කන්නට ය.කම්මැලි කමට ග්‍රවුන්ඩ එක ගාවටත් කාර් එකෙන්ම සැපත් වී ඒ යෝදයා සෑහෙන වෙලාවක් දුවද්දී  දුම් පිට කරමින් යාන්තම් රවුමක් එකහමාරක් දුවගත්තාට උන්දෑගේ රෑ කෑම එකටත් සම්මාදම් වුණ නිසා ඒ දිවිල්ලට දෙයියන්ගේ ම පිහිටය.

පහුගිය අවුරුදු තුනම දිව්වේ බට්ටිගේ රාජකාරිවලට ය.තප්පර දෙකකුත් එක තැනක ඉන්නට බැරි බට්ටි පස්සෙන් වැටීම එක අතකට සෑහෙන දුවන්න වෙන තත්වයක් ය.ඒත් අම්මාගේ පිඟානත් බට්ටිගෙ පිඟානත් ගිල දමා පෙරහැරේ කරඬුව ගෙනියන්නට හැකි තරම් ඩිංගිත්තක් මහත් වී ඇති බව දැනුනු නිසා තීරණය කලේ පොඩිත්තක් ඇඟ බහින්නටත් එක්කම බොරලැස්ගමුව පැත්තේ දුවන එක හොඳ විත්තිය ය.

අපේ උන්දෑ දුවන සපත්තු ගන්නට මාව කුදලාගෙන ගියේ  තියෙනා ඉස්තරම් ම සපත්තු කඩේකට ය.ඒ සපත්තුවල ගණන් මිණුම දැක්කත් හරි බර කිලෝදෙක තුනක් ඉබේ අඩුවෙන්නට ඇත.බට්ටී කඩය නවමුහුණවරකින් සරසන්නට පොඩි වෙලාවක් තිබියදී මගේ හිත ගිහින් නැවතුනේ රොබින් හුඩ්ගේ කොළ පාට සපත්තු ජෝඩුවකට ය.අපේ උන්දෑ නම් කිව්වේ ඒක පිරිමි උදවියගේ එකක් බවය.හිත ගිය තැන මාළිගාව නිසාවෙන් ඒ ජෝඩුවම ඉල්ලා පොලවේ පස් කෑ නිසාවෙන් ඇහැ කඩාගෙන යන කොළ සපත්තු ජෝඩුව දැන් මගේ ය.

හා හා පුරා කියා දුවන්නට ගියේ අද ය.මේස් ජෝඩුවක් දාමුයි අපේ උන්දෑගේ යෝජනාව එක පයින්ම කපා හැරුනේ මෙච්චර සනීප සපත්තුවලට මේස් ඕනෑ නැති නිසා ය.බොරලැස්ගමුවට ගියාම කරකවලා අතෑරියා වගේ ය.අපේ මනුස්සයා බට්ටි බලාගැනීමට පොරොන්දු වුනාට පස්සෙන් පහු මාත් ඉතින් දුවන්නට පටන් ගත්තාලු ය.මීටර් දෙසීයක් විතර් අ යද්දී දිව කකුල්වල පැටලෙන නිසාවෙන් දිවිල්ල ඇවිදිල්ලක් කරන්නට වුණාය.මීටර් සීයක් ගිය තැන හිතට දත කාගෙන ආයෙත් දුවන්නට ගත්තත් මීටර් දෙසීයකට එහානම් දුවන්නට පෙට්‍රල් මදිය.දෙසීයක් දුවලා සීයක් ඇවිදින්නට හිත හදා ගත්තත් ටික ටික තරාදිය දෙපැත්තේ බර වෙනස් වෙනවාය.කෑම කඩ හරියට එද්දී සෑහෙන දුරක් ඇවිදිල්ල විතර ය .

අලි මදිවාට හරක්  කියා ගෙන  වරුසාවක් කඩා වැටෙන්නේ ඔය අස්සේ ය.ෆෝන් එක අපේ උන්දෑ ගාවය.ඒ ජෝඩුව පේන තෙක් මානයක ඇත්තේ ද  නැත.ෆෝන් එකක් තියා රුපියල් පහක්වත් අතේත් නැත.වැස්සට අහුනොවුනත් ඉතින් හිත ඇතුලේ ගං වතුරය

බැරිම තැන වැස්සට බයිස්කල් පැදිල්ල නතර කළ මනුස්සයෙක්ගෙන් බයිසිකලයකුත් කඩේකින් කුඩයකුත් අතමාරුවට ගෙන තුණ් සරනේ කවි මතක් කරමින් වැස්සේම වැව වටේ යන්නට උනේ අන්තිම වතාවට බයිසිකලයක් පැද්දේ කසාද බඳින්නට පෙර බව මතක් වෙද්දී ය.පොඩි කාලේ වැරදි බ්‍රේක් එක අල්ලා මහප්පාගේ බයිසිකලයෙන් පත බෑවුන හැටි මතක තිබුණත් මෙදා පාරත් හරි බ්‍රේක් එක මොකද්දැයි නිච්චියක් නැත.රවුම් කාලක් විතර යද්දී සයිකලේ ඇනයක කලිසම් පැටලී කොලවරියක් වෙන්නට ගියත් යන්තම් බේරුනේ කලිසමේ පදාසයක් හිල් වුණාට පස්සෙන් පහු ය.
රවුම් බාගයක් විතර යද්දී සපත්තු දෙක ඇතුලේ වැවට වැඩිය පොඩ්ඩක් අඩුවෙන් වතුර ය.කකුල් දෙකේම දියපට්ටා ඇවිදින් පිපිරී සෑහෙන ම සනීප ය.ඔක්කොමත් හරි මේ ජෝඩුව ආගිය අතක් නැත.

කොන්ද අතට එන ගානට රිදිරිදී ආයෙමත් කෑම කඩ හරියට ඇවිදින් අමාරුවෙන් බයිසිකලයෙන් බැහැ ගනිද්දී  වැස්ස තුරල් වෙලා ය.
බැලින්නම් අපේ හාදයා වහින්න ගද්දීම ත්‍රීවීලර් මල්ලියෙක් එක්ක කෑම කඩේ ගාවට සැපත් වී ඇත.බයිසිකලයෙන් එතනින් යද්දී මට කතාකළ බවත් මම පිස්සුවෙන් වාගේ නෑසූකන් ව ගිය බවත් අපේ උන්දෑ මට දන්වා සිටියේ දියබරි පෙනුමක් ගත් මං තඩි වතුර බෝතලයක් එක හුස්මට ඉවර කළට පස්සේ ය

මෙහෙම ගියොත් නම් කෙට්ටු වෙන එක ඉතින් මට නතිං තමා.

Friday, February 2, 2018

කරවනැල්ල,ආ ගිය මතක

කරවනැල්ලෙන් කොළඹට ගෙවල් මාරු කර සතියකට වැඩි ය.තාම බඩු මුට්ටු තැන තැන නිසාවෙන අලුත් ගෙදර ගෙදරකට වඩා සරණාගත කඳවුරක් වගේ ය.කරවනැල්ලේ ගෙදර වත්තක් තිබුනේ නැත.දඹල වැලක් ගිය ඇල්බිසීයා ගහකුත් දාස්පෙතියා මල් පාත්තියකුත් විතරය ඒ ගෙදරට තිබුනේ.
අලුත් ගෙදර වත්තක් තියනවාය.ගස් තුන හතරකුත් තියෙනවාය.වටේටම තාප්පයකුත් තියෙන නිසාවෙන් හුරතලේට සතෙක් ඇති කරන්නට පොඩි පහේ ආසාවකුත් හිතේ තියේ ය.

කසාද බැන්දාට පස්සෙන් පහු හා හා පුරා කියා අලුත් ගෙදරකට ගියේ කරවනැල්ලේ දී ය.මාස නවයක් පිරුනු බට්ටි එතකොට යන්තම් දණ ගානවා ද කොහෙද ය.එක ගෙවල් පේලියට තිබුණු ගෙවල් තුනක මැද ගෙදර අපි ය.ගෙවල් තුනේම ඇත්තන්ට එක පොදු මිදුලක් ය.වෙලාවකට ඇණයක් කියා හිතුනත් ඒ හිතවත් කමේත් අපූරු රහක් නොතිබ්බා නොවේ. හදිස්සියට පැනඩෝල් දෙකක්,පොල් බෑයක් හුවමාරු කරගන්නට,තසිම් පොඩ්ඩක අරුමෝසම් කෑම බෙදා ගන්නට, රෑට අනවසරයෙන් ගෙට එන පලා පෙත්තන්,ඇටිකිත්තන් එලවාගන්නට විදේශාධාර ඕනෑ වන විට මේ අසල් වැසි සමාගම් කදිම ආයෝජනයක් ය.

 පොඩි සිමෙන්ති වැටකිනුත් පිටිපස්සෙන් පස් බැම්මකිනුත් ගේ මායිම් ය.උස් ගොඩැල්ලක පිහිටි නිසාවෙන් වටපිටාවම අපිටත් අපිට වට පිටාවත් හුරුපුරුදු දසුන් මය. සමහරවිට පොඩි කෙල්ල කරේ තියාගෙන පාරේ යන,කෙල්ලත් එක්ක පාරේ මඩවලවල් වල පනින, මිදුලේ පැදුරු එළාගෙන සරුංගල් බලන, කෙල්ලගේ වයසේම වැඩ කරන දොස්තර නෝනා ගමේ උදවියට මැජික් වෙන්නට ඇත.
ඒත් අවුරුද්ද දෙක යද්දී පොඩ්ඩක් පිස්සු තිබුනාට දොස්තර නෝනාගේ පිස්සුව ආස්‍රය කිරීමෙන් බෝ වන රෝගයක් නොවෙන බව තේරුම් ගත් ගමේ ඇත්තෝ බොහොම කුළුපඟ කම් පෙන්වන්නට පසු බට වුනේ නැත.

ඉස්පිරිතාලෙට ගෙදර හිට විනාඩි පහක දුර ය.බට්ටිගෙන් ගැලවී ගන්නට විනාඩි කෙලකෝටියකුත් මදිය.අතින් කටින් බඩු මුට්ටුත් එල්ලාගෙන වෙල උඩින් වැටුනු පාර දිගේ මීටර් සීය දුවන දොස්තර නෝනාට ගුඩ් මෝනින් කියනා මාර්ග බාධක දුසිම් දෙක තුනක් ය.කොයි වෙලේ පාරට බැස්සත් කුනු කරත්තේ හාදයා ගේ හිට බස් ඩ්‍රයිවර් මහත්තුරු,කඩ මුදලාලි ලා හැමෝටමත් වචනයක් දෙකක් විසි කර විරිත්තා යන එක දොස්තර නෝනා ගේ පුරුද්ද ය.

කරවනැල්ල හරිම දුප්පත් ටවුමක් ය.ටවුම කිව්වාට ඇත්තේ ඉස්පිරිතාලෙ ත් කඩ දෙක තුනකුත් බස් නැවතුමත් ය.
කාඩ් ගිල සල්ලි දෙන මැශිමක්වත් ඇත්තේ අල්ලපු ටවුම රුවන්වැල්ලේය .නෝ ලිමිට්,ෆැශන් බග් පැත්ත පලාතක නැත.පීසා හට්  එකක් ඇත්තේ පැය තුන්කාලක දුර අවිස්සාවේල්ලේ ය.ඉතින් මේ දුප්පත්ම දුප්පත් ටවුමක් ය .

කරවනැල්ලට තියෙන්නේ මනුස්සකම විතරය. රෑ රුවන්වැල්ලේ බස් නැතුව වේලෙන වෙලාවට ගෙදරටම ගෙනත් දමා සල්ලි නොගෙනම යන ත්‍රීවීලර් මල්ලි ලා ය.අවසිහියෙන් පාන් ගෙඩිය ත්‍රීවීලර් එකේ අත ඇර ආවිට මහ රෑ නැවත ගෙන එන පොඩි කෙල්ලට අම්මාටත් වැඩිය විශ්වාසවන්ත ආප්ප කඩේ ශෙල්ටන් මාමා ය.එලවලු මෙලෝ අලයක් තෝරන්නට නොදන්නා දොස්තර නෝනාට එලවලු ටික තෝරා දී ගිනි අව්වේ පාරට පැන ත්‍රීවීලරයකුත් හොයා ගෙනවිත් බඩු ටික පටවා පරිස්සමට ගෙනියන්නට උපදෙස් දෙන එලවලු කඩේ බාප්පාය.
"ඉස්සර නම් ඩොක්‍ටර් කීය කීය හරි එකතු කරනවා.දැන් කරන්නෙම සල්ලි ගන්න එක"කියමින් ගතු කියන කෑමක් බීමක් ලැබුනාම එනතුරු පංගුව ඉතුරු කරගෙන ඉන්න බැංකුවේ සිකුරුටි මහතා ය.එක දවසක සිනාවෙන් බෙහෙත් දුන්නාට ජීවිත කාලයම දුටු තැන සිනා වෙන් සලකන අත්තම්මලා ය.

පොඩි කෙල්ලගේ හෙට තියෙන්නේ කරවනැල්ලේ නොවේ ය.ඉතින් පොඩි කෙල්ලත් අම්මාත් අප්පච්චිත් එක වහලක් යටට වෙන්නට කරවනැල්ලට සමුදෙන්නටම වේ ය.
අලුත් ගෙදර ඉඩ කඩ ඕසෙට ය.ඒ මදිවාට කෙල්ලට මිටින් මුදා හැර දුවන්නට පනින්නට මිදුල් රාජයෙක් ය.කරවනැල්ලේදී ඈතින් අත වනා ගෙන ගිය අහස් යන්තර දැන් අත ළගින් යන නිසාවෙන් පොඩි කෙල්ල පස් වනක් ප්‍රීතියෙන් ය.වටපිටාවේ ඇත්තන්ගේ ජීවිත  ඒ ඇත්තන්ගේ තාප්ප ඇතුලේ ය.අපි අපේ තාප්පය ඇතුලේ ය. ෆුඩ් සිටි,බැංකු,කඩ සාප්පු අතේ දුරින් ය.
ඉතින් ඇත්තෙන්ම අලුත් ජීවිතේ මනරම් ය.

ඒත් ඉඳ හිට  කරවනැල්ලේ මනුස්සකම දොස්තර නෝනාගේ හිත කොනිති ගහනවා ය.
හිතේ දුකට
එතකොට
කවි කියවෙනවා........ය