Friday, October 20, 2017

යං තමයි අපිත් ඉතින්

කහනගම මාමා වැඩ කලේ රේල්ලුවේය.පැන්සොන් ගිහිනුත් දැන් දසකේකට වඩා වැඩිය.ඉහ නිකට පැහුණේ අකලට නොව වයසටය.හවසට හවසට බාර් එක වන්දනා කිරීමෙන් අමාරුවෙන් මේන්ටේන් කරන රා කළයක් වාගේ බඩ ගෙඩියක් ය.දූලා දෙන්නාම දීග දී දැන් මුනුපුරන් හතර දෙනෙකුත් ය.පැන්සොන් ගිය  පස්සෙන් පහු කාටත් කරදරයක් නැතිවම වත්තේ පිටියේ වැඩත් බලාගෙන නැන්දා එක්ක පවුල් කමින් උන්නේය.

"අනේ බලාපන් නංගියේ මට වෙච්චි විපැත්තියක්"
නිරිත දිග මෝසම වහින්නා සේ කඳුළු ගංගාවක් මැද්දෙන් කහනගම නැන්දා අපේ ගෙදර සැපත් වුනේ ඊයේ පෙරේදාය.

"ඇයි බං නංගියේ උඹට අසනීපයක්වත් ද?මාස දෙක තුනකට කලින් දැක්කට වඩා හොඳටම ඇදිල ගිහින් නෙ?"

"අසනීපෙ? අසනීපෙ මට නෙවෙයි අර ගෙදර ඉන්න මිනිහට"
නැන්දා හොටු තලියක් මිදුලේ මල් පඳුරකට විදිමින් දෙස් දෙවොල් තියන්නට වූවා ය.

"ඇයි බං මක් වෙලාද ඒ මනුස්සයා ට?"

"මක් වෙලාද? මොලේ නරක් වෙලා අක්කේ.මට නම් පේන්නෙ කොහේ හරි ඉන්න කිකිලියෙක්ට දැපනෙ වැටිලා"

"නෑහ්?"අම්මාගේ ඇස් නළලේය

"නෑ නෙවෙයි බං.දැන් මාසෙක විතර ඉඳන් කෙස්සයි රැවුලයි පාට කරනවා.බිත්තර ගෙඩි පිටින් ගිලිනවා.කොට කලිසං කෑල්ලක් ගහන් උදේ පාන්දර පාරට පැනලා දුවනවා.ජොගිංද මොකද්ද කියන්නෙ.ළඟදිම දවසක අප්පුහාමි මාමගෙ බල්ලා අල්ලනවා බත් කෙන්ඩෙන් මැහුං දාන්ටම.අර ෆෝන් උලව්වෙන් හතර පැත්තට පස්ස හරව හරවා  පොටෝ ගහනවා.මට නං දැන් ඉතුරු වෙලා තියෙන්නෙ වහ ටිකක් කන්න තමා"
නැන්දා සාරි පොට මිරිකූ පාර පුටුව යට හිටි කිටියා කඳුලු ගංගාවේ ගසා ගෙන ගොස් නතර වුනේ මහ පාරේ ය.

"හා හා,කලබල වෙන්න එපා නංගි.අපි දන්නෙ නෑනෙ කතාව හරියටම .කහනගම මල්ලිට හවස් වරුවේ නිකමට මේ පැත්තෙ එන්න කියන්නකො.මම අපේ උන්දැට කියලා පොඩි දැනමුතුකමක් දීලා බලන්නම්"
හිත හදා තේකකුත් පොවා අම්මා නැන්දා පිටත් කර හැරියාය.

හැන්දා කරේ කහනගම මාමා අපේ ගෙවල් පැත්තේ ආවේය.කිව්වත් වාගේ මාමා කොච්චර වෙනස් වෙලාද කියනවානම් තනිකරම දෙවනි ඉනිමේ ඉස්කෝලෙ කොලුවෙක් වගේය.තව ඩිංගෙන් අපේ ටොමියා මාමා හපන්ට පනිනවාය.

"වරෙන් වරෙන් මලේ.වාඩි වෙයන් මෙහෙන්."තාත්තා බුලත් හෙප්පුව මාමාට දික් කලේය.

"එපා අයියෙ මම විට කන එක නතර කළා"

"හෑ???.අපේ මැනිකෙත් කිව්වා මල්ලිගේ වැඩ කටයුතු ටිකක වෙනස් වෙලා නිසා නංගි විස්සෝප වෙනවය කියලා ."

"නෑ එහෙම විශේෂයක් නෑ අයියෙ."
නෑ කිව්වට මාමා පුවක්බඩ මනමාලි වගේ ඇඹරෙනවාය.

"මේ කියහං මට සුදුළූනු පොඩි නොකර ,මොකද උඹ වෙනින් මොකක් හරි හුටපටයක්වත් පටන් ගත්තද?"ඔය ටික තාත්තා අහන්නේ මාමාගේ කනට කරලාය.

"පිස්සුද අයියෙ?"

"නෑ කියන්න එපා.උඹ සම්පූර්නෙන්ම වෙනස් වෙලා.හේතුවක් නැතුව එහෙම වෙන්න බෑ"

"මම ඇත්ත කියන්න අපේ ගෑනිගෙ කනට මේක යන්නෙ නෑ කියලා පොරොන්දු වෙයං" අන්තිමේදී මාමා රහස් එලි කරන්නට ලෑස්ති ය.

"පිස්සුද බං මම කටේ කෙළ පොදක් හෙලන්නෑ ඕං"

"මං ලබන අවුරුද්දෙ ලෝක තරුණ සමුළුවට යන්න කියලා"
තාත්තාට හිනාව ඉස්මොල්ලේ ගිය බැවින් සංවාදය පැත්තක් දමා උන්දෑගේ පිට මැද්දට පත බාන්නට මාමාට සිදු විය.

"තරුණ සමුලුවට යන්න ?මේ හැට පැන්න උඹ?අනේ මීමෝ බොට අමු කැවිලද?තරුණ ළමයි මෙච්චර ඉන්න රටේ උඹ වගේ නාකි හමෙක් ඕකට යවන්නෙ මොකාද?"තාත්තා ගේ හිනාව ඇස් වලින් පෙරෙන්නට වෙලාය.

"හුහ්?මීමා?මම නෙවෙයි මීමා.මීමා නෙවෙයි උඹ ළිං ගෙම්බෙක්."මාමාට නහුතෙට තද වෙලාය.

කලිසම් සාක්කුවෙන් එළියට ඇද ගත්තේ ලොකු දෝනියන්දා අරන් දුන් ජංගමයා ය.සටසට ගා ලොග් වුනේ මූනු පොතට ය.

"ඕං බලහං.මේ අවුරුද්දෙ ඕකට ගිහින් තියෙන්නෙ කොච්චර තරුණ නාකි ටිකක්ද කියලා."
කිකිලි කොටුවක් මැද නරියෙක් මතක් කරවන පොටෝ කෑල්ලක් තාත්තාට දික් කරමින් මාමා ගුගුරනවාය.

"හා දැන් කියහං අයියෙ ලබන අවුරුද්දෙ තරුණ සමුලුවට යන්න මට කොලිපිකේසන් නැද්ද?"

ප.ලි.
අපේ තාත්තාත්.ජොගින් කරන ශෝටක් ගන්න ටවුන් ගිහින් ය.


Tuesday, October 10, 2017

රෝද දෙකේ වාහනේ

මග දිගට ංහෝටල් දාන්නට හිතෙන නිසා මට පොඩි කාලේ හිටන්ම රෝද හතරේ වාහන අරහං ය.ඉතින් ඒ කාලේ ඉඳන් ම මගේ හිත ගිය වාහන අතලොස්සේ උඩින් ම වැජඹුනේ බයිසිකලයත් කෝච්චිත් ය.ඔතනින් කෝච්චියත් ටිකක භයානක සතෙක් ය .ඒ නිසා වාහන ලෝකයේ මගේ ෆස්ට් ලවු එක  බයිසිකලේ ය.

පොඩි කාලේ තාත්තා ගෙනත් දුන් බයිසිකලේ රෝද හතරකි.ලොකු රෝද දෙකට අමතරව  වැටෙන එල නවත්තන්නට පිටිපස්ස රෝදේ දෙපැත්තෙන් තව ඇබිත්තන් රෝද දෙකකි.ඒ දෙක තියෙද්දී වත්තේ පොර මං වුනාට ඒ දෙක ගලවා රෝද දෙකෙන් බයිසිකලය පදින්නට පුරුදු කරන්න තාත්තා තීන්දු කල දවසේ ඉඳන් මාසයක් විතර බයිසිකලයත් මාත් වැඩි හරියක් හිටියේ පඳුරු  අස්සේ නැත්නම් කානු පල්ලේ ය.පුරුදු වුණාට පස්සේ කජු කන්නාවගේ වැඩක් උනත් කම්මැලි කමට රෝද හතරෙන් යන්න පුරුදු වී හිටි මට නම් රෝද දෙකක් උඩ බැලන්ස් වෙන හැටි අල්ලා ගැනිල්ලට ඒ තරම් කාලයක් වැය කරන්නට වෙනවා ය.

මගේ ගානට තියෙන පොඩි බයිසිකලය පදිනවාය වැඩිය ගති ලොකු ඇත්තෙක් ගේ බයිසිකලයක් මෙල්ල කර ගන්නා එකය.අත්තම්මාගේ මළ ගෙදර දවසේ මහප්පාගේ බයිසිකලය දැක්කාමත් මටත් මගේ දකුණු අත වූ මාමාගේ දෝනියන්දෑටත් ඇති වුනේ ඔය ආසාව ය.කවුරුවත් නොබලන අතරේ බයිසිකලය උස්සාගත් අපි හෙමින් සීරුවේ ගේ අද්දර පාරේ ශිල්ප දක්වමින් ඉද්දී කැසිල්ල වැඩි වූ මට ගමන් මාර්ගය තව ඩිංගිත්තක් දික් කිරීමට හිතුනේ පාරේ කෙලවර තඩි පල්ලමක් ඇති බව නොදැන ය.පවනේ වේගයට කිට්ටු කරමින් පහළට ඇදුණ බයිසිකලයත් මාත් දුටු අම්මා බෙරිහන් දුන්නේ බ්‍රේක් ගහන ලෙසටය.
කොයි බ්‍රේක් එකදැයි අහන්න හිතෙනකොට අම්මා සෑහෙන දුරය.මොළේ පාවිච්චි කර බ්‍රේක් දෙකම ඇල්ලූ නිසා බයිසිකලය එක පැත්තකටත් මා තවත් පැත්තකටත් විසි වී පාර මැද පත බෑවුනේ දණිස් දෙකත් මැල්ලුම් කරගෙනය.බයිසිකලෙන් වැටුණු මිනිහාට තාත්තා තඩි බෑවා වගේ කියා ප්‍රස්තාව පිරුළක් ඇති වුණේ ඔය සිද්ධියෙන් පස්සෙන් පහු ය.

ඒත් ඉතින් බයිසිකල් ප්‍රේමය ඔතනින් නැවතුනේ නැති ලුය.නවයේ දහයේ විතරදී පන්ති යන්නට බයිසිකලයක් තාත්තා අරන් දෙන්නේ නොකා නොබී කඳුලු බිබී කරපු සටනක අවසානයේ ය.කොච්චර සැර තාත්තා කෙනෙක්ට වුණත් දුවෙක්ගේ කඳුලු අද්දර දිනන්නට හිත දෙන්නේ නැත.ඒ කාලේ මිටින් හල කුරුල්ලෙක් දැක් නැති කෙනෙක් උන්නා කිව්වා නම් අපේ අම්මා ශුවර් එකටම බයිසිකලෙන් පන්ති යන්න යන මාව පෙන්නනවාය.විද්‍යාව පන්තියට බයිසිකලයෙන් ගිය ගයනිත් මාත් අදටත් අතිජාත මිත්‍රයෝ ය.දෙමළ පන්ති ඉවර වුණාම පිටිපස්සේ ලගේජ් එක උඩින් බෙඩ්ශීට් එකක් එළා හොඳ වෙලාවට දැන් කාලේ මෙන් මස් පරුවතයක් නොවෙන මල්ලීවත් තියාගෙන බයිසිකලේ පදින එක හොඳ පණ ගියත් බොහොම උජාරුවෙන් ඉටු කළ රාජකාරියකි.

බයිසිකලේ හැප්පුනේ එකම එක දවසක් ය.වෙන සිහියක වංගුවක් ගනිද්දී මෝටෝ බයිසිකලයක් ඉඹින්නට යාම නිසා ඉස්සරහ රෝදේ අටපට්ටමක් වූ විට හිත කුඩු පට්ටම් වුනේ ගෙදරට මූණ දෙන හැටි හිතා ගන්නට බැරුවය.දෙවි කෙනෙක් මෙන් ඉදිරිපත් වුණු වින්කලේ අයියා ගයනිගේ බයිසිකලයේ ඩබල් දමා අපි ගණන් පන්ති ගිහින් එනවිට තිබ්බ විදිහටම රෝදය රවුම්කර තිබ්බේ ය.සති දෙහෙකට පස්සේ දවසක  මට මක් වුණාදැයි බලන්නට මොටෝ බයික් අංකල් අපේ ගෙදරට වැඩම් නොකෙරුවානම් අදටත් තාත්තා ඒ සෙල්ලම ගැන දැන ගන්නේ නැත.

බයිසිකලේ එතිච්චි ප්‍රේම  කතා එකකට වැඩි ය.ඒත් ප්‍රේම කතන්දර ඇති වී නැති වී යද්දිත් බයිසිකලේට ප්‍රේම කිරිල්ල අඩු වුනේ නැතිය.බයිසිකලේ නිසාවෙන් නිදහසේ පියාඹන්නට තටු ලැබුන නිසා ඉඳලා හිටලා සායවල් රෝදවල පටලවා ගැනීම වාගේ සුලු අරියාදු කළාට බයිසිකලයත් එක්ක තරහ ගන්නට අමාරුය.

මටත් වැඩියෙන් මගේ බයිසිකලේට ප්‍රේම කරපු සෙට් එකක් වුණා නම් ඒ අපේ පන්තිවලට ආපු ඉළන්දාරි ටිකය.ඒ ලෙවල් පන්තිවලදී බයික් එකෙන් පන්ති ආවේ කෙල්ලන් කීප දෙනාය. ඒ වෙනසට ගරු කිරීමක් හැටියට පන්ති ඉවර වෙද්දී බයිසිකලේ ඉස්සරහ කූඩයට ගඩොල් ගෙඩි ,පොඩි පොල් ගෙඩි වගේ යමක් පුරවා තියන්නට මේ ඉලන්දාරි වරද්දන්නේ නැත.එක ගෑනු දරුවෙක් මේ අහිංසකයන් මහන්සි නොකරන්නට හිතා පන්තියට ආ ගමන් බයිසිකලේ  මුණින් අතට හරවන්නට පුරුදු ව හිටි බවක් ලාවට මතක ය. හැබැයි දෙයියනේ කියා කවදාවත් මේ ගැටවු රෝදවල හුළං අරිනවා වාගේ කැත වැඩ කළේනම් නැත.

කාලයත් එක්කම බයිසිකලයත් වයසට ගිහින් ය.බයිසිකලෙන් පන්ති යන උන් තවමත් ඉන්නවාද දන්නේ නැත.මාත් වයසට ගිහින්  හින්දා දැන් බයිසිකල් පදින්නට වයස වැඩිය.දැන් කරන්නේ බට්ටි ට්‍රයිසිකල් පද්දවන එකය.

ප ලි: අපේ හාදයා ද ඒ ලෙවල් කාලේ මගේ බයිසිකල් කූඩයට ගඩොල් සැපයීමේ පින් කමට සම්මාදම් වී ඇත.ඒත් ඉතින් ඒක දැන ගන්නාවිට පොතේ අස්සන් කර හමාර නිසා වරදට සමාව දෙන්නට සිද්ධ වුණාය