ඇයි ගංවතුර මිනිස්සුන්ට කරදර කරන්නෙ?
ඇයි හැමදාම එක වගේ උදේට සනීපෙට හීනියට ඉර පායලා දවල් වෙනකොට රෙද්දක් වේලාගන්න පුලුවන් අවු රැල්ලක් වැටිලා ,හවස් වෙනකොට රස්නෙ මැකෙන්න හීන් පොදයක් වැටිලා ඕනෙනම් රෑට ගුලි වෙලා එක පොදියට නිදාගන්න පුලුවන් වැස්සක් වැටුන නම් මොකද වෙන්නෙ?
එහෙම වුනා නම් හොඳයි කියලා හිතුවට එහෙම වුනා නම් ඒකත් එපා වෙන්න ඉඩ තියෙනවා.හැමදාම එකම අහස ,එකම වෙලාවට එකම වැස්ස,එකම වෙලාවට එකම අව්ව
ඒක හින්දාමද කොහෙද කවදාවත් එහෙම වෙන්නෙ නෑ.හුඟක් දවස් එක වගේ අව්ව වැස්ස මාරු වෙවී යනවා.ඒත් හිටි ගමන් මුලු අහසම කලු කරන් හෙන පුපුර පුපුර වහිනවා.සමහර වෙලාවට අර එකම රාමුවෙන් ජීවිතේ ටිකක් එළියට ඇදලා දාලා පොඩි අමුත්තක් ජීවිතේට එකතු කරලා වැහි බීරම තුරල් වෙලා යනවා.
ඒත් සමහර වෙලාවට වැහි වතුර විඳින්න ඉඩක් නොතියා තව තවත් වැහි වතුර දෝරෙ ගලන්න ගන්නවා.ගංගා ඇල දොළ පිටාර ගලලා ඇඳිවත විතරක් ජීවිතේ ඉතුරු කරලා යනවා.
ජීවිත කාලෙම එකතු කරගත්ත කිසිම දෙයක් අතේ මිට මොලවා ගන්න බැරි වෙච්ච් මිනිස්සු දැක්කෙ නෑ වගේ ගංවතුර බැහැලා යනවා.මොකුත්ම නොවුනු ගානට ආයෙ ඉර පායනවා.
වතුර බැහැල ගියාට හැංගිච්ච් යාලු මිත්‍රයෝ ආයේ මේ ජීවිතේදි මුණ ගැහෙන්න වෙන්නෙ නෑ.හුඟක් අයට මුල ඉඳලාම ජීවිතේ ගොඩ ගන්න වෙනවා
ගංවතුරට නොතෙමුණ බොහෝ දෙනෙක්ගෙ හිත් තෙමුණු උන්ගේ කදුළු වතුරට තෙමෙනවා.තමන්ට තියා ගත්ත දේ පවා පොදි බැද ගෙන උන් වැටුණ උන් නැගිට්ටවන්න නෑගම් යනවා.පුලු පුලුවන් විදිහට දිවා රෑ නොබලා ජාති ආගම් නොබලා පපුවේ ගින්දරෙන් අඳුනන නාඳුනන අපේම එවුන් වෙනුවෙන් මහන්සි වෙනවා.අතරින් පතර බොරදියේ මාලු බාන එකෙක් දෙන්නෙකුත් ඔය අස්සෙ නොඉන්නවා නෙවෙයි ඉතින්.
මිනිහා කියන්නෙ අරුම පුදුම සතෙක්.කී පාරක් වැටුනත් නැගිටින්න ආයෙ ජීවිතේ හදාගන්න හිතේ හයිය තියෙනවා.අද වැටුන ජීවිතේ යන්තම් දෙපයින් නැගිට්ට ගමන් හෙටත් ආයෙ සුනාමියකින් ගංවතුරකින් ගින්නකින් අනිත් පැත්ත පෙරළෙයිද නැද්ද කියන්න කිසිම සහතිකයක් නැහැ.
හැබැයි මොනවා වුනත් අපි ආයෙ නැගිටිනවා.කවුරු නැතත් රටේ මිනිස්සු තව මිනිහෙක්ගෙ දුකට උදව්වට නැගිටිනවා .ඒක සහතිකයි.
No comments:
Post a Comment