අපේ අක්කා හුරතලේට ඇති කළ බළල් තඩියා ආගිය අතක් නැති ය.ඌ නිසා ගෘහ මූලික ලයිස්තුවේත් යටටම වැටුණු මට ඇති යාන්තම් කියා හිතුනත් අක්කා නොකා නොබී වැලහින්නක් සේ අඬන්නට වීම ඊටත් හපන් මළ වදයක් නිසා පූසා වෙනුවට අක්කා මිසිං වුනානම් කියා හිතෙන්ටත් වුනේ ය.
චීස් බටර් හැම් බේකන් ආදී දොල පිදේනි ගේ වටේ තිබ්බත් පූස් නගුටක්වත් නොදුටු නිසා අගතියට පත් අක්කා සාදාරනයක් නොවුනහොත් මුදට පනින බවට තර්ජනය කරන්නට වූවා ය.අපේ අක්කා හදා වඩා ගත්තා මිසක ඔය බළල් තඩියා මසට මිස හොරෙන් ගෙනියන්නට තරම් මොලේ අමාරුවක් කාටවත් ඇති යි හිතන්ටත් අමාරුය.
කරන්නට තියෙන්නේ අංජනමක් බලන එකය කියා ආච්චි දුන් දැනමුතුකමත් එක්ක අපිත් එහෙම කරන්නට කඩි මුඩියේම ගියෝය.
අංජනම් දේවි විනාඩි දෙකෙන් නැති වු පවුලේ සගයා ට්‍රැක් කර කීවේ ඒ ඇත්තා නිස්කලංක ඉස්තානයක සැපෙන් සනීපෙන් ඉන්නා වග ය.ගෙන්නා ගන්ට බන්දනයක් කළ හැකි බවත් ගාස්තුව තිස් දහසක් බවත් කීවිට කළන්තේ දැමූ තාත්තාට නූල් බැඳීම ට තව තුන් දහසකි.
අනේ උන්නැහේ ගාන වැඩි නැද්දැයි විමසූ විට කපු රාල අම්මාගේ ඇඟට ගොඩ වූයේ
"එහෙම අඩුවට කොරන්න පුලුවන් වැඩ ද මේවා.ඇයි ඔහේලා රටේ ලෝකෙ වෙන දේවල් දන්නෙ නැද්ද?.දැන් රටේ ජනාධිපති තුමාට ඇයි ඔහොම නිකන් හිටන් ඉන්ට වෙලා තියෙන්නෙ.හූනියම් කරපු නිසා නෙවැ .අපේ සෑස්තරේ ආන් එහෙම මුලු රටම හොල්ලන්න පුලුවන් බලගතු එකක්.ඉතින් ඔහේ මට කියන්නෙ හංදියේ දොස්තර වගේ දෙසිය පනහක් අරන් ඇති කියන්ට ද කියා ය."
හොඳ වෙලාවට තාත්තගෙ පඩි පැකැට්ටුව අම්මා ළඟ වූ බැවින් අපි ගාන ගෙවා ගෙදර ආවෝය.අක්කා බිලාලයා එනතුරු ගේ ඉස්සරහ මුල් ගල් ඇල්ලුවා ය.
ඔහොම්ම තවත් දවසක් විතර යනකොට ෆෝමලින් සුවඳට ළඟින් යන සුවඳක් නහය කඩා ගෙන යන්නට වුණා ය.විපරම් කර බලන විට අල්ලපු වත්තේ පාලු ළිදේ පාවී පාවී එලොව ගොස් සිටි බිලාලයා හමු විය.
අක්කාගෙන් බේරීමට කපු මහත්තයා සහ අංජනම් දේවිය සැඟවී සිටිනා බව ආරංචි ය.
අපි පූස් තඩියා වලළන්ට හාරන වල කෝකටත් ටිකක් ලොකුවට කපනවෝ ය.