Tuesday, November 11, 2014

අඬන අහස


ජනෙල් පියන් වලට එහා අහස බෑඟිරි ගගහා අඬනවා.මම ලැප් ටොප් එක දිග ඇරගෙන ඔහේ මූණු පොතේ උඩට පහළට සක්මන් භාවනා කරනවා.පේරාදෙනියෙ ඉන්න කාලේ හැමදාම හවසට මල් වට්ටියක් පිරෙන්න මල් කඩලා බුදුන් වැන්ද හැටි මතක් වෙන්නෙ වැස්ස පිටින් දාලා කම්මැලි කමට බුදුන් වඳින්නෙ නැතුව ඉන්න බව හිත හොඳටම දන්න නිසා.

ඉස්කෝලෙ යන කාලෙ මම වැස්සට පුදුම ආදරෙයි.වහිනකොට ගෙදර හිටියොත් අම්මගෙ සායක් ඇඳන් එලියට බැහැල වැස්සෙ නටන එක තරම් දෙයක් ඉතින් තවත් නෑ.පේරාදෙනියෙ ආවට පස්සෙත් වැස්සට ප්‍රේම කිරිල්ල එහෙම්මම තිබුනා මගෙ හිතේ.අනිත් අය වැස්සට කුඩ ඉහලුවට මම කුඩේ එලියට ගන්නෙ බැරිම වුනොත් විතරයි.ඒත් ගෙදරදි වගේ වැස්සෙ නටන්න නම් බැරි වුනේ හොඳටම පිස්සු තද වෙලා කියන ලෝකාපවදයට උඩින් යන්න හිතේ හයියක් නොතිබ්බ හින්දා.ඒ වුනාට හොස්ටල් එකේදි දරා ගන්න බැරි විදිහේ අසරණ කමක් හිතට ආව සමහර වෙලාවට උඩ තට්ටුවෙ බැල්කනියට වෙලා මම අනන්තවත් වැස්සෙ කඳුලු දිය කරලා තියෙනව.කියන්න කවුරුත් නැති, කරගන්න කිසිදෙයක් නැති වෙලාවට මාත් එක්ක අහස අඬන එක හිතට පොඩි හරි සහනයක් වෙන්න ඇති කියලා දැන් හිතෙනව.


කරවනැල්ලට ආවට පස්සෙ වැස්සෙයි මගෙයි අහින්සක ප්‍රේමයට තිත තියන්න වෙලා.පේරාදෙනියෙ වැස්ස වගේ නෙවේ කරවනැල්ලෙ වැස්ස අඬනව නෙවේ තරහ ගිහින් ගොරවනවා.අඩි පොලවේ හප්පනවා.සමහරවිට මම වෙනස් වෙච්ච හින්ද වැස්සට දුක හිතුනා වෙන්න ඇති.ඒත් මම මොනව කරන්නද? දැන් ඉස්සර වගේ වැස්සෙ නටන්න බැරි වගකීම්- ඒ ගැන බලාගන්නත් එපායැ.මම හිත තද කරන් එලියෙ  යුද්ද කරන වැස්ස ගැන නොහිතා ඉන්න හිතා ගන්නව."වැස්ස නැති වුනට දැන් ඉතින් මම ඉන්නවනෙ" කියන්න වගෙ බට්ටිත් නින්දෙන් ඇහැරිලා තට්ටුවක් දානවා.බට්ටිව තුරුලු කරන් මම කොට්ටෙකින් ඔලුවත් වහගෙන නිදා ගන්න යනවා. 

2 comments:

  1. වචනයෙන් කියන්න බැරි තරම් කතන්දරයක් අකුරු වල හැංගිලා තියෙනව. කරවනැල්ල කරදරයක්, හිසරදයක් වෙච්චි කාලයකුත් තිබුන. ඒත් දැන් එකම එක ක්ෂම භූමිය කරවනැල්ල වෙලා, වැස්ස තරහ වෙලා.. බට්ටී විතරක් හැම දේටම ඉතුරු වෙලා...

    ReplyDelete