අවුඩියක් ගෙනාවාට මට සුභ පතමින් මැසේජ් එවන මිත්‍ර වරුනි.කරුණාකර රථයේ මිල කීයද?එන්ජින් ධාරිතාව කොපමණද ? තෙල් කොමපණ වැඩ කරනවාද වැනි සීනිබෝල ප්‍රශ්න අසා මගේ සිත නොතලන්න.එවන් සරළ ප්‍රශ්න වලට උත්තර දීමට මගේ මාතලී වූත් සුවාමි පුරුසයා වූත් ගිහාන් චාමර මැතිතුමාට පවා පිළිතුරු දිය හැකිය.
මගෙන් විමසන්නේ නම් මා කෙලින් කිරීමට බලාපොරොත්තු වන ලයිට් කණු ගණන, පරලොව යැවීමට බලාපොරොත්තු වන අපා දෙපා සීපා සතුන් ගණන , පැත්ත පළාතකින් නොයාමෙන් පමණක් ඔබේ දිවි ගලවා ගැනීමට හැකිවන පිටු දැකිය යුතු මගේ ගමන් වාර සටහන වැනි සංකීර්ණ ගැටලු පමණක් මට යොමු කරන්න.
කලින් දවසක කියූ පරිද්දෙන් මට කාර් ,බස්,වෑන් ආදී එයා කන්ඩිසන් වාහන ඔක්කොම වහකදුරු වාගේ වෙන්නේ පොඩි කාලේ හිටං ය. එව්වායේ යනවානං බලු තඩියෙක් ගෙන යන්නාහේ හොඳින් නැචුරල් හුළං වැදෙන්නට ජනේලය සම්පූර්ණයෙන්ම ඇරගෙන ඔලු ගෙඩිය එලියට දමාගෙන ම යා යුතුය.බට්ටි යන්නේ ද අම්මාගේ අඩි පාරේය.ඒ හන්දා ඔය වාහන පැදවිල්ල ගැන මගේ මෙලෝක ආසාවක් නැත.
නවයේ දහයේ විතර ඉන්දැද්දී තාත්තා ගේ මොටෝ බයිසිකලය පදවන්න පුරුදු කිරීමේ වෑයමක් ගත් තාත්තා බ්‍රේක් නැතිව පේර ගහක් දිගේ ගිය මා පසුපස් අ හඹා විත් නතර කර ගත්තේ,වත්තේ තිබූ එකම පේර ගහ විනාස කර ගත නොහැකි යැයි පාඩම නවතා දැමී ය.
කැම්පස් අන්තිම විභාගේට සති දෙක තුනක් තියා කඩිමුඩියේ ලයිසං ගන්නට හිත පහළ වෙනවා ය.ලර්නර්ස් අයියා ගලහ ඉඩම් හිමි වැවිලි කරු වන අපේ සතා මහතා ගේ දුරින් නෑයෙක් හෝ ළඟින් යාලුවෙක් ය.සතියෙන් ඩ්‍රයිවින් පුරුදු වෙන්නට හදන අපට යාලුවා/ නෑයා නිසා බැන ගන්නට බැරි හිතේ අමාරුවට ලර්නර්ස් අයියා අනිත් එවුන් හුස්මක් ගත්තත් උන් මරන් කන්නට හදනවාය.එනිසා කට්ටියම වෑන් තඩියට නැග ගනිද්දී අල්ලා තද කරගත් හුස්ම අල්විස් පොන්ඩ් එක හරියේදී වෑන් එකෙන් බැහැලා පිට කරද්දී වටපිටාවේ සුලිසුලං ,ටෝනෙඩෝ තත්ව මතු වෙනවා ය.
උදේ දවල් හවස පුරුදු වීගෙන අන්තිමේ මම පාරේ මැද ඉරට සමාන්තරව වාහනේ පැදගන්නට පුරුදු වෙනවාය.
හත් වලාමයි හැට හතරයි ය.ට්‍රෑල් දෙන්න ගිය පාරෙ මැද ඉර කවුදෝ කුපාඩියෙක් උස්සලාය.පාරේ අඟලෙන් අඟලට හරක් ය(කකුල් හතරේ උන්).ඔය අට අනූවක් වියාදි අතරේ මම ට්‍රෑල් පාස් ය. වාහන නැතත් ලයිසොං හිමි ය.
කොහොමටත් කාර්වල් ජාතිය ජන්මය යනාදී රිය බස මට ග්‍රීක හෝඩියට කිට්ටුය .අපේ උන්දෑ මා බලන්නට එන කාලේ කාර් එක වෙන් කර ගත්තේ කාර් එකේ දිගෙන් යැයි හොස්ටල් එකේ උන් මාව ඩෙවල් දදා බයිට් කලෝ ය.පස්සෙන් පහු ඉස්සරහ රෝද දෙකේ කප් කවුදෝ පින්වතෙක් ගල් කර තිබුනායින් මගේ හඳුනාගැනීමේ හැකියාව තවත් වර්ධනය විය.
හදිස්සියකදී වාහනය පැදවීමට මා පුරුදු කළ යුතු යැයි අපේ උන්දෑට හිතක් පහළ වෙන්නේ ඔය කාලයේ මය.අමාරුවෙන් පණ ගන්නාගෙන වාහනේ ගෙනියනවාට වඩා අමාරු අපේ උන්දෑගේ ඕඩර්ස් පිළි පැදීම ය.
"වමට සිග්නල් දාන්න"හිටි අඩියේ අපේ හාදයා එහෙම කිව්වත් මට හිතුනේ සිග්නල් දකුණට දාන්න ඕනෑ බවට ය.
ඒ ගැන හිත හිතා ඉන්දැද්දී වමට සිග්නල් දාන්න කිව්වා ඇහුන්නැද්දැයි අපේ උන්දෑගේ දෙවනි බෙල් එකත් වැදුනේ ය.
"මොනවා කරනවද මන්දා .නවත්තන්න නවත්තන්න." ඒ පාර තර්ඩ් බෙල් එකත් හරි ය.
ලර්නර්ස් එකේ අයියා පළමු දවසේම උගත් පාඩම මොනවා කළත් මට එක පාර සැරෙන් දෙන ඕඩර්ස් සෑහෙන බයානක බවයි.බ්‍රේක් එකත් ක්ලච් එකත් එකවර අතැර දමා මම විබීතව උන්දෑ දිහා බැලුවාට පස්සෙන් පහු උන්දෑ උදේ දවල් හවස ලර්නර්ස් එන්න කිව්වත් සැරෙන් නම් මුකුත් කිව්වේම නැත.
ට්‍රෑල් ගත් හාදයා ඒ පාඩම ඉගෙන ගත්තේ නවත්තන්න නවත්තන්න කිවු වහාම මම වාහනයේ පස්ස පාරේත් ඉස්සරහ පාර අයිනේ තණ කොලගොල්ලකත් හිට්න්නට නවත්තා එතුමාගේ මූණ තණකොල පඳුරක එබුවාට පසු ය.අපේ උන්දෑත් ඒ පාඩම හොඳින් ඉගෙන ගත්තේ ඉද්ද ගැහුවා සේ පාර මැද නතර කළ කාරයේ පශ්චාත් භාගය සිප ගන්නට ඔන්න මෙන්න වූ බේරුණු බයිසිකල් හාදයෙක් අපේ පරම්පරා හතකට මෙත් වඩමින් යන්න ගිය කළ ය.ඒ කාර් රාජයා විකුණන තුරුත් ආයෙත් අපේ උන්දෑට ඒ වාගේ නපුරු හීන පෙණුනේ ම නැත.
ඒ මිහිරි මතකයන් කාලයේ වැලි තලාවෙන් වැසී යද්දී උන්දෑව ඩ්‍රොප් කරගෙන මට ඩ්‍රයිව් කරගෙන වැඩට යා හැකි බව අපේ උන්දෑ නැවතත් කීවේ පෙරේදා දිහා ය.
බොරලැස්ගමුවේ සිට සෞඛ්‍යය අමාත්‍යාංශය දක්වා මාර්ගයේ වාසය කරන තව දුරටත් ජීවත් ව සිටීමට කැමති සියලු ජීවීන් මේ නොනගත කාලය තුල නිවෙස් වල කුස්සිය හෝ පිටුපස මිදුල ආශ්‍රිත පුණ්‍ය කටයුතු වල නියැලීමෙන් මාරක අපලවලින් දිවි ගලවා ගැනීමේ සුලු සම්භාවිතාවක් ඇති බව ප්‍රවීන ජ්‍යෝතීර්වේදයින් ගේ මතය යි.