Sunday, February 18, 2018

කුණු කුණු ගෑවෙන කුණු

ඉස්කෝලේ වත්තේ ලොකු කුණු ගොඩක් තිබුණේ ය.හැමදාමත් අතු ගාලා අහවර වුනාම හවසට පන්තියේ ඩස්බින් එක කුණු වලට හලන්නට ට්‍රිප් එකක් ශුවර් ය.හැමදාම පුච්චන නිසාදෝ ඒ කුණු වලේ එච්චර් ගඳක් තිබුනා මතක නැත.

අම්මාට පින් සිදු වෙන්නට පොඩි කාලේ ගෙදර කුණු කවදාවත් ප්‍රශ්නයක් වුණු බවක් මතක නැත.දිරන නොදිරන කුණු වලට අම්මා මොකක් කළාදැයි දන්නේ අම්මාත් උඩ ඉන්න දෙවියනුත් විතර ය.පස්සේ කාලෙක නම් තාත්තා කොල පාට කොම්පෝස්ට් භාජනයක් ගෙනාවේ ය. ඒ අස්සෙන්ම අම්මා කුණු ගොඩක් ගිනි තැබීමේ ආනිසංසයෙන් දැන් අපිට ඇඹරී ගිය මොඩලයෙර් කොම්පෝස්ට් බඳුනක් තිබේ.

කුණු ප්‍රශ්නයක් වෙන්නට ගත්තේ කරවනැල්ලේ පදිංචියට ගියාමය.ගෙදර කාමර ,වටපිටාව බැලුවත් කුණු දාන තැනක් ගැන අහන්න අපිට කල්පනාවක් වුනේ ම නැත.ප්‍රාදේශීය සභාවෙන් කුණු ගෙනියන කරත්තය එන්නේ මහ පාරේ විතර ය.අපේ පාරේ උදවිය ගේ පුරුද්ද පාලු ඉඩමකට හා ඒ අසළ පාරට කුණු අත ඇර යාමය. වට පිටාවේ නහයක් තියා ගෙන හිඳිල්ල බොරු ය.වැස්ස දවසට පාර එකම සුප් හැලියක් ය.කුණු ගොඩ අද්දර කඩ පොඩ්ඩේ බවලතිය පැවසුවේ සනීපාරක්ෂක තුවා අසළ පන්සල් වත්තට ඔසවා ගෙන දුවන බලු රැල පස්සෙන් හඹා යනවා හැර උන්දෑට වෙන වැඩකට වෙලාවක් නැති බවය.
දවසක් දෙකක් උදේ පාන්දරම කුනු මල්ල විසි කර ආවත්  ඒ වැඩේට හිතට ගැලපෙන්නේ නෑ ම ය.ඊළඟ දවසේ තඩි කුණු මල්ලත් තබාගෙන තාර පාර ළඟ බලා හිටියේ කුණු කරත්තය එන තුරුය.කුණු කරත්තයේ සේයාවක්වත් නැතුව වේලෙන වා මදිවාට දන්නා කියන උදවිය මගේ දිහාත් කුණු මල්ල දිහාත් බලබලා යන යෑම ඔක්කොටම හපන් ය.එදාත් කුණු මල්ල පාරටම අත හරින්නට වෙනවා ය.

ඔහොම යද්දී එක දවසක් ආරංචියක් එන්නේ කුනු කරත්තය අයිති හාදයා හවසට ඕක ගාල් කරන්නේ ඉස්පිරිතාල වත්තේ බවය.බැලුවාම වැඩේ ඇත්තය.පහුවදා උදේ කුණු කරත්ත හිමියා වැඩ පටන් ගන්නට එද්දී කොහෙන්දෝ කුණු මල්ලක් කරත්තයට සැපත් වෙලාලු ය.

දොස්තර නෝනා කුනු මලු උස්සාගෙන ටවුම පුරා යාමෙන් තමාට අගතියක් වේ යැයි සිතූ නිසාවෙන්දෝ ගෙදර අයිති ඇත්තෝ වහාම ඉදිරිපත් ව දිරන කුණු සඳහා කොම්පෝස්ට් බඳුනක්ද අනෙක් කුනු පුච්චන්නට පහසුකම් සලසා දෙන්නේ ඔය අවුඅස්සේය.ඉතින් කුණු ට්‍රිප් එක නවතිනවා ය.

 ඉතින් කුණු බෝලය පාස් වෙන්නේ වැඩට ආ පත්මා ඇන්ටිටය.මැස්සන් හා දුගඳින් ගැලවෙන්නට කොම්පෝස්ට් බඳුන තියෙන්නේ ගෙයින් ඈත හද්දා කැලේක ය.නයි හාමිලා නිතර සරන ඉසව්වක කොම්පෝස්ට් බඳුන මුණ ගැහෙන්නට යන්න වෙන්නේ දිවි පරදුවට තබා ය.ඉතින් හුළගට කොළ හෙලවෙන සද්දයක් ඇහුණත් එදාට ඇන්ටිගේ කුණු ට්‍රිප් එක කැන්සල් ය.

අලුත් ගෙදර බලන්න ආ මුල්ම දවසේ ම කුණු ප්‍රශ්නය ගෙහිමියන්ට ඉදිරිපත් කළේ කුණු කුණුනම් ගේ ත් එපා කියන්ට හිතා ගෙනය.ප්‍රාදේශීය සභාවෙන් කුණු ගෙනියන බව පිළිතුරු ලැබුණාම  හිතට මාර ම නිදහසක් ය.
පසුව කළ විමසීමෙන් සොයා ගත්තේ අඟහරුවාදා ට ඉඳුල් ,කෑම ජාතිත් සෙනසුරාදා ට ඔක්කොමත් ගෙනියන්නට කුණු ලොරිය එන බව ය.වැඩේ හරිම ලේසි පාට ය.

ඇවිදින් දැන් මාසෙකට කිට්ටුය.කුණු ලොරියේ උදවිය හැංගිමුත්තන් සෙල්ලමට දස්ස බව දැන් හොඳටම පැහැදිලිය .පළමු සතියේ කුණු ලොරියට පෙර බලු හාමිලා කුණු ගෙන යාම භාර ගැනීමෙන් තාත්තාට පාර පුරා කුණු අහුලන්නට සිදු වීය.සතියකුත් කුණු ලොරිය මුලිච්චි නොවීම නිසා අන්තිමේදී කොම්පෝස්ට් බඳුනක් අලුත් ගෙදරටත් කැන්දාගෙන ඒම උත්සවශ්‍රීයෙන් සිදු කලේ දෙවන සතියේ ය.රජයේ නිවාඩු,චන්ද නිවාඩු ,අව්ව වැස්ස ආදී සියලු හේතු මත කුණු ලොරියේ එන්ජිම ඇණ හිටින නිසාවෙන් මේ වෙනකන් උන්දැලාට දෙන්න පුලුවන් වුනේ එකෝම එක කුණු මල්ලක් විතරය.
තව ටික දවසක් ඉස්සරහ මිදුල කළු කුණු මලුවලින් වැහෙන එක නවතන්නට නං මට ආයෙම සැරයක් කුණු ලොරිය නවත්තා තියෙන තැන හොයා ගෙන යන්නට වෙයි වගේ ය.
කුණු ලොරියේ මාමලා ට ජය වේවා!

Monday, February 5, 2018

කුමාර වන්නම

උදේ හීතලේ ඇහැරන්
මං හදනා තේ මසුරන්
බොන්නට මං තුරුලු කරන්
කුමාරයෙක් හෙව්වා මං

කඩිමුඩියේ වී ලැහැස්ති
බත් ගෙඩියත් මල්ලේ ඇති
වැඩට දුවමු හැල්මේ නිති
කුමාරයෝ මට නම් හති

ඔෆිස් එකේ වැඩ බෝයා
බොසා එහෙන් හිස කෑයා
මොබයිලයෙන් දුක් ගීයා
කුමාරයාටම කීයා

දවල් කෑම කෑවාදෝ
අද හතරට එනවාදෝ
රෑට කොත්තුවක් කමුදෝ
මේ කුමරා මගේම දෝ
 
හිත බරටයි හිස රිදිල්ල
පෙති බිව්වට නෑ ඇරිල්ල
නළලත සිපගත් ඇසිල්ල
කුමාරයා  කරයි මෙල්ල

ලෙඩට දුකට අම්මා මයි
තාත්තාගේ පරිස්සමයි
කළණ මිතුරුදමුත් පුරයි
මගේ ලොවම කුමරු නුඹයි

Sunday, February 4, 2018

දුවපු දිවිලි

ඉස්කෝලේ යන කාලේ පිට්ටනි වටේ දිවිල්ල මට එපාම කරපු වැඩක් ය.නවයේ ඉන්දැද්දි  ස්පෝර්ට් මීට් එහෙකින් දිනපු පවට කොට්ඨාස තරඟවලට යන්නට කියා හැමදාම උදේ උයන්වත්ත ග්‍රවුන්ඩ් එක වටේ දුවන්නට උනේය.හෙල්ල කවපෙත්ත දාන එකා මොන රෙද්දකට පිට්ටනි වටේ දුවනවා ද නොදනිතත් ලාල් සර්ට බයේ ඉතින් මාත් දුවනවා ය.ආයෙත් ඉස්කෝලේ යන්නේ දාඩිය පෙරාගෙන ය.

හොකී ප්‍රැක්ටිස් තිබුනේ හවස් වරුවට ය.විවිධාකාර හේතු නිසාවෙන ප්‍රැක්ටිස් යන්න හිත තිබුණත් දුවන්නට ගියාම නං හිත දුවන්නේම ආපස්සටය.සර් බලාගෙන නැත්නම් හීං සැරේම දුවන රවුම පොඩි වෙන අටපට්ටම් වෙන වගේ සෙල්ලම් අපි ඉගෙන ගන්නේ ත් ඔය කාලේ  මය.

කැම්පස් ආවාමත් ගැලවිල්ලක් නෑ ම ය.කැම්පස් එක මැද්දෙ ගල් අඟුරු ධාවන පථය ය.රැග් කරන කාලේ කියපු විදිහට නම් සපත්තු නැතිව දිව්වොත් කකුල් දණහිසට යනකං ගෙවෙනවාය.ෆ්‍රෙශර්ස් මීට්,ෆැකල්ටි මීට්,එකී නොකී ඔක්කොම මීට් අපේ වුන් දිව්වේ වැඩිමනත් දුවලා පුරුද්දට නොව බැච් ෆිට් එක නිසා හිතේ හයියෙන් ය.
ජීවිතේට කඬුලු නොපැනපු බැචියෙක් කඩුලු පෙරලාගෙන ගල් අඟුරු කට්ටේ දණහිස් ලෙලි යද්දීත් දිගටම දිව්වා මතක ය. අටසීය දුවන බැචියන් දෙන්නා පස්සෙන් මුලු බැච් එකම වාගේ දුවපු නිසා වෙන සංවිධායක මණ්ඩල වැටුනේ හරිම අමාරුවක ය.සහායට දුවන්නන් ධාවන පථයෙන් අයින් වෙන්නැයි යකඩ කටින් කිහිපවතාවක් ම මරළතෝනි දුන්නත් අපේ එවුන්ට ඒවා කිව් වෙලේ කරන්නට තිබ්බේ බීරි අලියෙක් හොයා ගෙන ඌට කියන එක ය.මීටර් සීය දුවපු  රූමි දුවද්දී නම් අපේ උන් මීයට පිම්බා සේ ය.මක් නිසාද යත් ඉතා දුර්ලභ ගණයේ ටියුබ් ලයිට් එකක් වූ ඈ  අපි චියර් කරද්දී නැවතී සිනාවෙන්නට ඉඩ තිබුනු නිසා ය.

කැම්පස් හොකී ගැහිල්ලත් ඉස්කෝලෙ කාලෙ වගේ මය.දිවිල්ල තණ බිස්සේ ය.රවුමක්නම් ජීවිතේට දුවන්නට නැත.බිත්තරයක් හෝ අටපට්ටම් දුවා හති අරින අපේ ෆිට්නස් කැලේ ය.

කැම්පස් යන තුරුම එපා වාහෙට හොදි බෙදනා සේ දිව්වත් අවුට් වුනාට පස්සේ දිව්වේ අපේ උවමනාවට ය.ඉන්ටර්න් අහවර ගෙවුනු සංක්‍රාන්ති සමයේ බැචෙක් ඇදගෙන දුවන්නට ගියේ කාපු බීපුවා පිච්චිලා යන්ට ය.ඌ දිව්වේ රෑට ගිහින් හිතේ හැටියට කන්නට ය.කම්මැලි කමට ග්‍රවුන්ඩ එක ගාවටත් කාර් එකෙන්ම සැපත් වී ඒ යෝදයා සෑහෙන වෙලාවක් දුවද්දී  දුම් පිට කරමින් යාන්තම් රවුමක් එකහමාරක් දුවගත්තාට උන්දෑගේ රෑ කෑම එකටත් සම්මාදම් වුණ නිසා ඒ දිවිල්ලට දෙයියන්ගේ ම පිහිටය.

පහුගිය අවුරුදු තුනම දිව්වේ බට්ටිගේ රාජකාරිවලට ය.තප්පර දෙකකුත් එක තැනක ඉන්නට බැරි බට්ටි පස්සෙන් වැටීම එක අතකට සෑහෙන දුවන්න වෙන තත්වයක් ය.ඒත් අම්මාගේ පිඟානත් බට්ටිගෙ පිඟානත් ගිල දමා පෙරහැරේ කරඬුව ගෙනියන්නට හැකි තරම් ඩිංගිත්තක් මහත් වී ඇති බව දැනුනු නිසා තීරණය කලේ පොඩිත්තක් ඇඟ බහින්නටත් එක්කම බොරලැස්ගමුව පැත්තේ දුවන එක හොඳ විත්තිය ය.

අපේ උන්දෑ දුවන සපත්තු ගන්නට මාව කුදලාගෙන ගියේ  තියෙනා ඉස්තරම් ම සපත්තු කඩේකට ය.ඒ සපත්තුවල ගණන් මිණුම දැක්කත් හරි බර කිලෝදෙක තුනක් ඉබේ අඩුවෙන්නට ඇත.බට්ටී කඩය නවමුහුණවරකින් සරසන්නට පොඩි වෙලාවක් තිබියදී මගේ හිත ගිහින් නැවතුනේ රොබින් හුඩ්ගේ කොළ පාට සපත්තු ජෝඩුවකට ය.අපේ උන්දෑ නම් කිව්වේ ඒක පිරිමි උදවියගේ එකක් බවය.හිත ගිය තැන මාළිගාව නිසාවෙන් ඒ ජෝඩුවම ඉල්ලා පොලවේ පස් කෑ නිසාවෙන් ඇහැ කඩාගෙන යන කොළ සපත්තු ජෝඩුව දැන් මගේ ය.

හා හා පුරා කියා දුවන්නට ගියේ අද ය.මේස් ජෝඩුවක් දාමුයි අපේ උන්දෑගේ යෝජනාව එක පයින්ම කපා හැරුනේ මෙච්චර සනීප සපත්තුවලට මේස් ඕනෑ නැති නිසා ය.බොරලැස්ගමුවට ගියාම කරකවලා අතෑරියා වගේ ය.අපේ මනුස්සයා බට්ටි බලාගැනීමට පොරොන්දු වුනාට පස්සෙන් පහු මාත් ඉතින් දුවන්නට පටන් ගත්තාලු ය.මීටර් දෙසීයක් විතර් අ යද්දී දිව කකුල්වල පැටලෙන නිසාවෙන් දිවිල්ල ඇවිදිල්ලක් කරන්නට වුණාය.මීටර් සීයක් ගිය තැන හිතට දත කාගෙන ආයෙත් දුවන්නට ගත්තත් මීටර් දෙසීයකට එහානම් දුවන්නට පෙට්‍රල් මදිය.දෙසීයක් දුවලා සීයක් ඇවිදින්නට හිත හදා ගත්තත් ටික ටික තරාදිය දෙපැත්තේ බර වෙනස් වෙනවාය.කෑම කඩ හරියට එද්දී සෑහෙන දුරක් ඇවිදිල්ල විතර ය .

අලි මදිවාට හරක්  කියා ගෙන  වරුසාවක් කඩා වැටෙන්නේ ඔය අස්සේ ය.ෆෝන් එක අපේ උන්දෑ ගාවය.ඒ ජෝඩුව පේන තෙක් මානයක ඇත්තේ ද  නැත.ෆෝන් එකක් තියා රුපියල් පහක්වත් අතේත් නැත.වැස්සට අහුනොවුනත් ඉතින් හිත ඇතුලේ ගං වතුරය

බැරිම තැන වැස්සට බයිස්කල් පැදිල්ල නතර කළ මනුස්සයෙක්ගෙන් බයිසිකලයකුත් කඩේකින් කුඩයකුත් අතමාරුවට ගෙන තුණ් සරනේ කවි මතක් කරමින් වැස්සේම වැව වටේ යන්නට උනේ අන්තිම වතාවට බයිසිකලයක් පැද්දේ කසාද බඳින්නට පෙර බව මතක් වෙද්දී ය.පොඩි කාලේ වැරදි බ්‍රේක් එක අල්ලා මහප්පාගේ බයිසිකලයෙන් පත බෑවුන හැටි මතක තිබුණත් මෙදා පාරත් හරි බ්‍රේක් එක මොකද්දැයි නිච්චියක් නැත.රවුම් කාලක් විතර යද්දී සයිකලේ ඇනයක කලිසම් පැටලී කොලවරියක් වෙන්නට ගියත් යන්තම් බේරුනේ කලිසමේ පදාසයක් හිල් වුණාට පස්සෙන් පහු ය.
රවුම් බාගයක් විතර යද්දී සපත්තු දෙක ඇතුලේ වැවට වැඩිය පොඩ්ඩක් අඩුවෙන් වතුර ය.කකුල් දෙකේම දියපට්ටා ඇවිදින් පිපිරී සෑහෙන ම සනීප ය.ඔක්කොමත් හරි මේ ජෝඩුව ආගිය අතක් නැත.

කොන්ද අතට එන ගානට රිදිරිදී ආයෙමත් කෑම කඩ හරියට ඇවිදින් අමාරුවෙන් බයිසිකලයෙන් බැහැ ගනිද්දී  වැස්ස තුරල් වෙලා ය.
බැලින්නම් අපේ හාදයා වහින්න ගද්දීම ත්‍රීවීලර් මල්ලියෙක් එක්ක කෑම කඩේ ගාවට සැපත් වී ඇත.බයිසිකලයෙන් එතනින් යද්දී මට කතාකළ බවත් මම පිස්සුවෙන් වාගේ නෑසූකන් ව ගිය බවත් අපේ උන්දෑ මට දන්වා සිටියේ දියබරි පෙනුමක් ගත් මං තඩි වතුර බෝතලයක් එක හුස්මට ඉවර කළට පස්සේ ය

මෙහෙම ගියොත් නම් කෙට්ටු වෙන එක ඉතින් මට නතිං තමා.

Friday, February 2, 2018

කරවනැල්ල,ආ ගිය මතක

කරවනැල්ලෙන් කොළඹට ගෙවල් මාරු කර සතියකට වැඩි ය.තාම බඩු මුට්ටු තැන තැන නිසාවෙන අලුත් ගෙදර ගෙදරකට වඩා සරණාගත කඳවුරක් වගේ ය.කරවනැල්ලේ ගෙදර වත්තක් තිබුනේ නැත.දඹල වැලක් ගිය ඇල්බිසීයා ගහකුත් දාස්පෙතියා මල් පාත්තියකුත් විතරය ඒ ගෙදරට තිබුනේ.
අලුත් ගෙදර වත්තක් තියනවාය.ගස් තුන හතරකුත් තියෙනවාය.වටේටම තාප්පයකුත් තියෙන නිසාවෙන් හුරතලේට සතෙක් ඇති කරන්නට පොඩි පහේ ආසාවකුත් හිතේ තියේ ය.

කසාද බැන්දාට පස්සෙන් පහු හා හා පුරා කියා අලුත් ගෙදරකට ගියේ කරවනැල්ලේ දී ය.මාස නවයක් පිරුනු බට්ටි එතකොට යන්තම් දණ ගානවා ද කොහෙද ය.එක ගෙවල් පේලියට තිබුණු ගෙවල් තුනක මැද ගෙදර අපි ය.ගෙවල් තුනේම ඇත්තන්ට එක පොදු මිදුලක් ය.වෙලාවකට ඇණයක් කියා හිතුනත් ඒ හිතවත් කමේත් අපූරු රහක් නොතිබ්බා නොවේ. හදිස්සියට පැනඩෝල් දෙකක්,පොල් බෑයක් හුවමාරු කරගන්නට,තසිම් පොඩ්ඩක අරුමෝසම් කෑම බෙදා ගන්නට, රෑට අනවසරයෙන් ගෙට එන පලා පෙත්තන්,ඇටිකිත්තන් එලවාගන්නට විදේශාධාර ඕනෑ වන විට මේ අසල් වැසි සමාගම් කදිම ආයෝජනයක් ය.

 පොඩි සිමෙන්ති වැටකිනුත් පිටිපස්සෙන් පස් බැම්මකිනුත් ගේ මායිම් ය.උස් ගොඩැල්ලක පිහිටි නිසාවෙන් වටපිටාවම අපිටත් අපිට වට පිටාවත් හුරුපුරුදු දසුන් මය. සමහරවිට පොඩි කෙල්ල කරේ තියාගෙන පාරේ යන,කෙල්ලත් එක්ක පාරේ මඩවලවල් වල පනින, මිදුලේ පැදුරු එළාගෙන සරුංගල් බලන, කෙල්ලගේ වයසේම වැඩ කරන දොස්තර නෝනා ගමේ උදවියට මැජික් වෙන්නට ඇත.
ඒත් අවුරුද්ද දෙක යද්දී පොඩ්ඩක් පිස්සු තිබුනාට දොස්තර නෝනාගේ පිස්සුව ආස්‍රය කිරීමෙන් බෝ වන රෝගයක් නොවෙන බව තේරුම් ගත් ගමේ ඇත්තෝ බොහොම කුළුපඟ කම් පෙන්වන්නට පසු බට වුනේ නැත.

ඉස්පිරිතාලෙට ගෙදර හිට විනාඩි පහක දුර ය.බට්ටිගෙන් ගැලවී ගන්නට විනාඩි කෙලකෝටියකුත් මදිය.අතින් කටින් බඩු මුට්ටුත් එල්ලාගෙන වෙල උඩින් වැටුනු පාර දිගේ මීටර් සීය දුවන දොස්තර නෝනාට ගුඩ් මෝනින් කියනා මාර්ග බාධක දුසිම් දෙක තුනක් ය.කොයි වෙලේ පාරට බැස්සත් කුනු කරත්තේ හාදයා ගේ හිට බස් ඩ්‍රයිවර් මහත්තුරු,කඩ මුදලාලි ලා හැමෝටමත් වචනයක් දෙකක් විසි කර විරිත්තා යන එක දොස්තර නෝනා ගේ පුරුද්ද ය.

කරවනැල්ල හරිම දුප්පත් ටවුමක් ය.ටවුම කිව්වාට ඇත්තේ ඉස්පිරිතාලෙ ත් කඩ දෙක තුනකුත් බස් නැවතුමත් ය.
කාඩ් ගිල සල්ලි දෙන මැශිමක්වත් ඇත්තේ අල්ලපු ටවුම රුවන්වැල්ලේය .නෝ ලිමිට්,ෆැශන් බග් පැත්ත පලාතක නැත.පීසා හට්  එකක් ඇත්තේ පැය තුන්කාලක දුර අවිස්සාවේල්ලේ ය.ඉතින් මේ දුප්පත්ම දුප්පත් ටවුමක් ය .

කරවනැල්ලට තියෙන්නේ මනුස්සකම විතරය. රෑ රුවන්වැල්ලේ බස් නැතුව වේලෙන වෙලාවට ගෙදරටම ගෙනත් දමා සල්ලි නොගෙනම යන ත්‍රීවීලර් මල්ලි ලා ය.අවසිහියෙන් පාන් ගෙඩිය ත්‍රීවීලර් එකේ අත ඇර ආවිට මහ රෑ නැවත ගෙන එන පොඩි කෙල්ලට අම්මාටත් වැඩිය විශ්වාසවන්ත ආප්ප කඩේ ශෙල්ටන් මාමා ය.එලවලු මෙලෝ අලයක් තෝරන්නට නොදන්නා දොස්තර නෝනාට එලවලු ටික තෝරා දී ගිනි අව්වේ පාරට පැන ත්‍රීවීලරයකුත් හොයා ගෙනවිත් බඩු ටික පටවා පරිස්සමට ගෙනියන්නට උපදෙස් දෙන එලවලු කඩේ බාප්පාය.
"ඉස්සර නම් ඩොක්‍ටර් කීය කීය හරි එකතු කරනවා.දැන් කරන්නෙම සල්ලි ගන්න එක"කියමින් ගතු කියන කෑමක් බීමක් ලැබුනාම එනතුරු පංගුව ඉතුරු කරගෙන ඉන්න බැංකුවේ සිකුරුටි මහතා ය.එක දවසක සිනාවෙන් බෙහෙත් දුන්නාට ජීවිත කාලයම දුටු තැන සිනා වෙන් සලකන අත්තම්මලා ය.

පොඩි කෙල්ලගේ හෙට තියෙන්නේ කරවනැල්ලේ නොවේ ය.ඉතින් පොඩි කෙල්ලත් අම්මාත් අප්පච්චිත් එක වහලක් යටට වෙන්නට කරවනැල්ලට සමුදෙන්නටම වේ ය.
අලුත් ගෙදර ඉඩ කඩ ඕසෙට ය.ඒ මදිවාට කෙල්ලට මිටින් මුදා හැර දුවන්නට පනින්නට මිදුල් රාජයෙක් ය.කරවනැල්ලේදී ඈතින් අත වනා ගෙන ගිය අහස් යන්තර දැන් අත ළගින් යන නිසාවෙන් පොඩි කෙල්ල පස් වනක් ප්‍රීතියෙන් ය.වටපිටාවේ ඇත්තන්ගේ ජීවිත  ඒ ඇත්තන්ගේ තාප්ප ඇතුලේ ය.අපි අපේ තාප්පය ඇතුලේ ය. ෆුඩ් සිටි,බැංකු,කඩ සාප්පු අතේ දුරින් ය.
ඉතින් ඇත්තෙන්ම අලුත් ජීවිතේ මනරම් ය.

ඒත් ඉඳ හිට  කරවනැල්ලේ මනුස්සකම දොස්තර නෝනාගේ හිත කොනිති ගහනවා ය.
හිතේ දුකට
එතකොට
කවි කියවෙනවා........ය